ravaya
83, පිළියන්දල පාර, මහරගම. දුරකථන: 2851672 / 2851673 කර්තෘ මණ්ඩලය: 2842064 බෙදාහැරීමේ අංශය: 2896330 ෆැක්ස්: 2851814 ඊමේල්: ravaya@gmail.com

අපරාධ හා එල්ලූම්ගස ගැන

දැන් සැලකිය යුතු කාලයක සිට එල්ලූම්ගස ගැන විවිධ මාධ්‍ය වාර්තා පළවනු දක්නට ලැබෙයි. වරෙක, එල්ලූම්ගස ක‍්‍රියාත්මක කරන්නාගේ තනතුරට පත්වීම සඳහා සමාජයේ ඇති අධික ඉල්ලූම ගැන වාර්තා පළවෙයි. වරෙක, එහි මිනිසුන් එල්ලන කඹය ආනයනය කිරීම ගැන වාර්තා පළවෙයි. දැන් අලූතෙන්ම වාර්තා වන්නේ එල්ලූම්ගසේ ලෑලි පුවරු අලූත් ලෑලි යොදා ප‍්‍රතිසංස්කරණය කළ බවට බන්ධනාගාර කොමසාරිස්වරයා මාධ්‍යවලට කළ කරුණු දැක්වීමයි. පසුගිය පෙබරවාරියේ දැයට කිරුළ ප‍්‍රදර්ශනයේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් එල්ලූම්ගසේ ආකෘතියක්ද ප‍්‍රදර්ශනය කළ අතර, එහිදී කරන ලද ජනමත විමසුමකදී මත පළකළ පිරිසෙන් සියයට අසූවක් පමණ එල්ලූම්ගස නැවත ක‍්‍රියාත්මක කළ යුතුයැ යි අදහස්කළ බවද මාධ්‍ය වාර්තා කළේය. බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් දක්වන අධිකතර උනන්දුවෙන් පෙනෙන්නේ කවර මොහොතක හෝ රජය මරණ දඬුවම ...



දරුවන් යහපත් හා සාර්ථක කිරීම

වික්ටර් අයිවන් [Sunday, August 12, 2012]

විශ‍්‍රාම ජීවිතය සැලසුම් කරගැනීමේ වැදගත්කම අළලා ලියන ලද මාගේ ලිපියට මා අපේක්ෂා නොකළ තරම් හොඳ ප‍්‍රතිචාර ලැබුණි. ඒ ගැන මට කතා කළ විවිධ තරාතිරම්වලට අයත් පුද්ගලයන් කීවේ එය හොඳ ලිපියක් බවය. එහි ඔවුන්ට ඉගෙන ගන්නට දේවල් තිබුණු බවය. මා දන්නා හඳුනන එක් අයකු කීවේ ඒ ගැන විස්තරාත්මක කරුණු ඇතුළත් පොත් පිංචක් ලියන ලෙසය. දේශපාලන දේවලට පමණක් සීමා නොවී ජීවිතයට ප‍්‍රයෝජනවත් එවැනි දේවල් ලියන ලෙස තව කෙනකු කීවේය. දේශපාලනයට අදාළ නැති මා ලියන්නට කැමති ඔළුවේ ගොඩ ගැසී තිබෙන වෙනත් දේවල්ද තිබෙන්නේය. මා අද ලියන්නට තෝරාගන්නේ දරුවන් ගැනය. දරුවන් බුද්ධිමත් හොඳ දරුවන් බවට පත්කරන්නේ කෙසේද යන කාරණය ගැන ලිවිය යුතුයැ යි සිතුවෙමි.

ගාන්ධි අසාර්ථක පියෙකි

මාගේ තරුණ කාලයේදී මට කලින් කල වෙනස් වන පරමාදර්ශී වීරයෝ සිටියෝය. මහත්මා ගාන්ධි මාගේ වීරයා බවට පත්වීමෙන් පසු වීරයන් වෙනස් කිරීමේ පුරුද්ද මට අත්හරින්නට සිදුවිය. මා නොදැනුවත්වම ගාන්ධි මාගේ නොවෙනස්වන වීරයා බවට පත්ව තිබුණේය. මම ඔහු පිළිබඳව හොඳට ලියන දේවල් පමණක් නොව නරකට ලියන ලද දේවල්ද කියවමි. පුදුමයට මෙන් ඔහු කෙරෙහි වන විශ්වාසයේ හා ගෞරවයේ වර්ධනයක් මිස පිරිහීමක් තාමත් මා තුළ ඇතිවී නැත. ඔහු දශලක්ෂ ගණන් ජනතාවට සාර්ථක පියෙක් විය. එහෙත් ඔහු සිය දරුවන්ට සාර්ථක පියෙක් නොවීය. එය මහත්මා ගාන්ධිගේ පරිපූර්ණභාවය සීමා කළ අනුවේදනීය දෙයක් වීයැ යි කිව හැකිය.

ගාන්ධිගේ දරුවන් තුළ පියා කෙරෙහි විශාල ගෞරවයක් තිබුණි. එහෙත් තම පියා අනුන්ගේ දරුවන් කෙරෙහි දක්වන සැලකිල්ලට වඩා අඩු සැලකිල්ලක් තමන් කෙරෙහි දැක්වීම ගැන ඔවුන් තුළ සියුම් නොසතුටක් තිබුණේය. වෘත්තිකයකු වූ තම පියා ඔවුන්ට වෘත්තීය අධ්‍යාපනයක් ලබා නොදී සිය ඥාති සහෝදරයන් දෙදෙනකුට උසස් අධ්‍යාපනය ලබාදීම සඳහා විශාල උනන්දුවකින් ක‍්‍රියාකිරීම නිසා වැඩිමහල් දරුවන් දෙදෙනා (හරිලාල් හා මනිලාල්) තුළ පියා පිිළිබඳව නොමනාපයක් ඇති කිරීමට හේතුවී තිබුණි. මනිලාල්ට සිය පියා පිළිබඳව තිබුණේ දැඩි විවේචනයක් පමණය. එහෙත් හරිලාල් පියාගෙන් පළිගැනීමේ චේතනාවෙන් ක‍්‍රියාකරන තැනකට තල්ලූ වී සිටියේය. ඔහු පියාගෙන් පළිගැනීම සඳහා හින්දු ආගම අතහැර මුස්ලිම් ආගම වැළඳ ගත්තේය. ගාන්ධිගේ විරුද්ධවාදීන් සමග එකතු වී ප‍්‍රසිද්ධ ප‍්‍රකාශන මගින් සිය පියා විවේචනයට ලක් කළේය. හරිලාල් සිය පියා කෙරෙහි දක්වන ලද ප‍්‍රතිචාර සාහසික වුවත් ගාන්ධි සිය දරුවන් කෙරෙහි විශේෂයෙන්ම ඔහුගේ වැඩිමහල් පුත් හරිලාල් කෙරෙහි දක්වන ලද ආකල්පයද සාහසිකවීයැ යි කිව හැකිය.

මා මීට කිසියම් දීර්ඝ කාලයකට ඉහතදී රටේ නාමධාරී කලාකරුවකුගේ නිවසට ගිය අවස්ථාවකදී ඔහුගේ එකම දරුවා මා ඉදිරියේම සිය පියාට කතා කළ සාහසික ස්වරූපය මා සුළු මොහොතකට අන්දමන්ද තත්ත්වයකට පත්කිරීමට හේතුවිය. එය මා ඉදිරියේ සිදුවීම නිසා කලාකරුවා හා ඔහුගේ බිරිඳද මහත් අපහසු තත්ත්වයකට පත්වූ බව පෙනෙන්නට තිබුණි. කලාකරුවාට තිබූ අතිවිශාල පිළිගැනීම හා ජනප‍්‍රියභාවය නිසා රසිකයන් කෙරෙහි මිස සිය දරුවා කෙරෙහි ප‍්‍රමාණවත් අවධානයක් යොමු කිරීමට කලාකරුවා අසමත්ව තිබුණා විය හැකිය. ඒ නිසා දරුවා පියා කෙරෙහි ඇති කරගත් ද්වේෂය නිසා එසේ හැසිරුණා විය යුතුය. එහෙත් මට දකින්නට ලැබුණු ඒ සිද්ධිය මා තුළ මහත් කැළඹීමක් ඇතිකළේය. මාගේ දරුවන් කෙරෙන් එවැනි හැසිරීමක් පළවුවහොත් එය විඳ දරා ගැනීම ඉතා දුෂ්කර වනු ඇතැ යි මට සිතුණේය.

දරුවන්ට ලැබිය යුතු අවධානය

මාගේ ජීවිතය කොතරම් කාර්ය බහුල වුවද මා සති අන්තයේ නිවාඩු දින දෙක ගතකරන්නේ මාගේ නිවසේය. ඒ දින දෙකේ මොනතරම් ලොකු දේවල් සිදුවුණද මා ඒවාට සහභාගිවන්නේ නැත. 94 මැතිවරණ ජයග‍්‍රහණයෙන් පසු ඒ වෙනුවෙන් වැඩ කළ තෝරාගත් පිරිසක් සඳහා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් සෙනසුරාදා දිනයකදී සංවිධානය කළ රාත‍්‍රී සාදයකට ඇය අරාධනා කළ විට මම ඊට සහභාගිවීම ප‍්‍රතික්ෂේප කළෙමි. මා පවත්වාගෙන ගිය පුරුද්ද ඇය දැනසිටියාය. එවැනි විශේෂ අවස්ථාවකදීවත් මාගේ පුරුද්ද අත්නොහැරීම ගැන ඇය ඒ මොහොතේ මට මොකක් හෝ කීවාය. පේ‍්‍රමදාස ජනාධිපතිවරයා ඝාතනයට ලක්වූ විට මට මා පවත්වාගෙන ගිය පුරුද්ද අත්හැර කොළඹට එන්නට සිදුවූයේ නිකුත්වීමට නියමිතව තිබූ පුවත්පතේ මුල් පිටුව වෙනස් කිරීමට අවශ්‍ය වූ නිසාය. සුසන්තිකා ඔලිම්පික් පදක්කම දිනාගෙන පැමිණි අවස්ථාවේදීද ඇයට නිසි නිල පිළිගැනීමක් ආණ්ඩුව විසින් ලබා නොදීම නිසා පිළිගැනීමක් සංවිධානය කිරීම පිණිස මට කොළඹ ඒමට සිදුවිය. ඒ අවස්ථා දෙක හැර නිවාඩු දින දෙකේ ගෙදර සිටින පුරුද්ද වෙනස් කළ අවස්ථාවක් මට නැත. මා එම දින දෙක දරුවන් සඳහා වෙන්කර තිබෙන බව ඔවුහුද දැනසිටියෝය. මා පවත්වාගෙන ආ පුරුද්ද දරුවන්ගේ තෘප්තියට හේතුවූවා සේ ම එම දින දෙක ඵලදායී ලෙස පාවිච්චි කිරීමේ හැකියාව මටද ලැබුණි. මා ගෙදර සිටියා කියා මුළු කාලය දරුවන් සමග ගතකළේ නැත. ඒ නිසා මට මාගේ කියවීමේ හා ලිවීමේ කටයුතුවල නිරතවීමේ හැකියාව ලැබුණි. ඔවුන්ටද අවශ්‍ය නම් මා වැඩ කරන තැනට පැමිණ මා සමග සුහද කතාබහක යෙදීමේ හැකියාව තිබුණි.

අප දරුවන් හදන්නේ නම් ඔවුන් හොඳින් බලාගැනීමේ යුතුකමක් හා වගකීමක් අපට ඇත්තේය. අන් සියලූ දේ හොඳට කරනු ලැබූවත් ඒ වැඬේ හරියට නොකරන්නේ නම් එය දෙමාපියන්ගේ ජීවිත කෙරෙහි පමණක් නොව, දරුවන්ගේ ජීවිත කෙරෙහිද හානිකර ලෙස බලපාන්නේය. කොතරම් දේවල් තිබුණද දරුවන්ගේ ජීවිත අසාර්ථක නම් ඒ වෙනුවෙන් මැරෙන තෙක්ම පසුතැවීමට සිදුවිය හැකිය. දරුවෝ කුඩා කාලයේදී දෙමාපියන්ගේ ආදරය හා රැුකවරණය බලාපොරොත්තු වෙති. එහිදී සිදුවිය හැකි වැරදි හා අඩුපාඩු දරුවන්ගේ ජීවිත කෙරෙහි බලපායි.

මව්වරු හා රක්ෂා

මා මගේ ගැහැනු දරුවන් දෙදෙනාට ඔවුන් වැඩිහිටි තත්ත්වයකට පත්වීමෙන් පසු දෙන ලද අවවාදය වනුයේ විවාහවීමෙන් පසු දරුවන් හදන්නේ නම් දරුවන් ලැබීමෙන් පසු රක්ෂාවකට නොගොස් ගෘහණියක ලෙස ළමුන් බලාගෙන ගෙදර සිටීම සුදුසු බවය. මව සහ පියා යන දෙදෙනාම රක්ෂා කිරීම නිසා ආර්ථික තත්ත්වය යහපත් වනු ඇතත් දරුවන්ගේ ජීවිත අඳුරු කිරීමට හේතුවිය හැකිය.

උල්ලංඝනය කිරීම සුදුසු නැති ස්වභාව ධර්මයේ සමහර ධර්මතාවන් පවතී. දීර්ඝතම ළමා කාලයක් තිබෙන්නේ මිනිසාටය. එම දීර්ඝ ළමා කාලයට හේතුව අන් සතුන්ට නැති මොළයක් මිනිසාට තිබීමය. මිනිසාට පසු දීර්ඝතම ළමා කාලයක් තිබෙන්නේ ඔරංඔටන් ගණයට වැටෙන චිම්පන්සියාටය. උගේ ළමා කාලය අවුරුදු 8කි. පැටියා ඒ අවුරුදු අට අම්මා සමග ජීවත් වන්නේය. එම ධර්මතාව ආරක්ෂා කිරීමටදෝ ඔරංඔටන් ගැහැනු සතා ගැබ් ගන්නේද අවුරුදු අටකට වරකි. දෙවැනි පැටියා ගැබ්ගත් විට පළමුපැටියා අම්මාගේ රැුකවරණය අතහැර ඉවත්ව යයි.

මිනිස් දරුවන්ටද ළමා කාලය අවසන් වන තෙක් අම්මාගේ රැුකවරණය අත්‍යවශ්‍යය. ඒ අඩුව ආච්චීට හෝ කරුණාවන්ත සේවිකාවකට සම්පූර්ණ කළ නොහැකිය. අම්මා හා තාත්තා යන දෙදෙනාම වැඩට යන දරුවන් කෙරෙහි, දරුවන් ළඟ අම්මා නැතිකමේ අඩුව විවිධ ආකාරයන්ගෙන් හා විවිධ ප‍්‍රමාණයන්ගෙන් බලපායි. මව හා පියා යන දෙදෙනාම වෛද්‍යවරුන්, දේශපාලකයන්, ව්‍යාපාරිකයන් වන හා සෙනසුරාදා හා ඉරිදා හැර අන් හැම දිනකම මව හා පියා රාත‍්‍රි කාලය තෙක් වැඩ කරන තත්ත්වයක සිටින අවස්ථාවලදීත් එවැනි අයගේ දරුවන්ගේ ජීවිත බොහෝ විට අසාර්ථකය. ආර්ථිකය කොතරම් හොඳ වුවත් දරුවන්ගේ ජීවිත යහපත් නොවේ නම් ඒ වරද සල්ලිවලින් නිවැරදි කළ නොහැකිය.

ලිංගිකත්වයට ඇති ලැදියාව හා වර්ගයා බෝකිරීමේ අවශ්‍යතාව අතර අන්තර් සම්බන්ධයක් පවතී. 45 වැනි විය ඉකුත් වූ පසු ගැහැනු ගැබ් නොගන්නේද ඉන්පසු දීර්ඝ ළමා කාලයක් ඇති දරුවන්ට අවශ්‍ය රැුකවරණය ලබාදීමේ හැකියාව එම වයසේ මවකට නැති නිසා විය හැකිය.

ගෙදර මව හා පියා අතර සමගියක් නැත්නම් නිතර ඒ දෙදෙනා අතර අඬදබර සිදුවේ නම් ඒ තත්ත්වයද ළමුන් කෙරෙහි අයහපත් ලෙස බලපායි. මව හා පියා වෙන්ව සිටීමද ළමුන් කෙරෙහි නරක ලෙස බලපායි. එම තත්ත්වයන් ළමුන් සමලිංගිකත්වයට හා ප‍්‍රචණ්ඩත්වයට නැඹුරු කරන සාධකයක් ලෙස කි‍්‍රයාකළ හැකිය. දෙමාපියන්ගේ හොඳ නරක ගති පැවතුම් ළමුන් කෙරෙහිද බලපායි. දරුවන්ගේ පළමු වීරයන් බවට පත්වන්නෝ දෙමාපියෝය. ඊළඟට ගුරුවරුය. දෙමාපියන්ගේ ජීවිත දරුවන්ට සැඟවිය නොහැකිය. දෙමාපියන්ගේ ජීවිත යහපත් නොවේ නම් ඒ බව දරුවන්ට පෙනෙන්නට වූ විට ඔවුන් අයහපත් දරුවන් බවට හෝ මානසික අවුලකට පත් දරුවන් බවට පත්විය හැකිය.

පොත්වලට ලැබෙන වැදගත්කම

කුඩා කාලයේ සිටම ළමුන් ඔවුන්ගේ වයස් මට්ටම්වලට ගැළපෙන හොඳ පුරුදුවලට යොමු කළ යුතුය. කියවීමට යොමු කිරීම ඒ අතර ප‍්‍රධානය. දීර්ඝවෙලාවක් එක දිගට කාටූන් වැඩසටහන් නැරඹීම විසින් ඇති කරන මානසික බලපෑම අයහපත්ය. වෙළෙඳපොළේ වෛවර්ණ ළමා පොත් විශාල ප‍්‍රමාණයක් ඇතත් ඒවා අතර තිබෙන හොඳම පොත් මොනවාද යන්න සොයාගැනීම දුෂ්කර විය හැකිය. විදේශ ළමා රචකයන්ගේ ළමා පොත් අතර හාන්ස් ක‍්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ පොත් වැදගත්ය. ළමා පොත් සඳහා වන අන්තර්ජාතික දිනය ලෙස සැලකෙන්නේද ඇන්ඩර්සන්ගේ උපන්දිනය වන අපේ‍්‍රල් 2 වැනිදාය. ඔහුගේ සියලූම ළමා කතාවල ඉංග‍්‍රීසි සංස්කරණ ලංකාවෙන් ලබාගත හැකිවා සේ ම ඔහුගේ බොහොමයක් ළමා කතා සිංහල භාෂාවෙන්ද පළවී තිබේ. ළමා කතාවලදී දේශීය වශයෙන් විශිෂ්ටතමයා ලෙස සැලකිය හැක්කේ කුමාරතුංග මුනිදාසය. ඉන්පසු සිබිල් වෙත්තසිංහය. ගෙදර පුංචි ළමුන්ට ඔවුන්ටම වෙන් කළ හොඳ ළමා පොත් සහිත පුංචි පොත් රාක්කයක් ලබාදිය හැකි නම් එය හොඳ තෑග්ගක් වනවා පමණක් නොව ඔවුන්ගේ පුංචි සිත් තුළ අභිමානය ඇති කරන දෙයක්ද වන්නේය. පුංචි ළමයකුගේ උපන් දිනයට වයසට ගැළපෙන හොඳ පොතක් ලබාදීම තරම් අගනා තෑග්ගක් තවත් නැති තරම්ය. කායික වර්ධනය කෙරෙහි බලපාන ක‍්‍රීඩාවලට අතිරේකව මොළේ වර්ධනය කරන ක‍්‍රීඩාවලට යොමු කිරීම වැදගත්ය.

චෙස්වලින් ලැබෙන ප‍්‍රයෝජනය

ළමුන්ගේ බුද්ධි වර්ධනය සඳහා යොදාගත හැකි හොඳම ක‍්‍රීඩාව චෙස්ය. ලංකාවේ ළමුන් ගණිතයේදී දුප්පත්ය. සංස්ලේෂණයේදී හා විශ්ලේෂණයේදීද දුප්පත්ය. දුටුගැමුණු හා ධර්මාශෝක යන රජවරුන් දෙදෙනාම ගැන ඔවුහු දන්නෙහුය. එහෙත් ඒ රජවරුන් දෙදෙනා ගැන තුලනාත්මක විශ්ලේෂණයක් කරන ලෙස ඉල්ලා සිටියහොත් ලැබෙන පිළිතුර දුප්පත්ය. රටේ ගෘහ පාලනයේ සිට රාජ්‍ය පාලනය දක්වාම කළමනාකරණයේ දුප්පත්කමක් අපේ රටේ පවතී. හොඳ කළමනාකරණ හැකියාවක් ඇති විදුහල්පතිවරුන් සිටින හැම පාසලක්ම සාර්ථකය. එසේ නොවන හැම පාසලක්ම අසාර්ථකය. මගේ මතය අනුව තිත්ත කසාය බොනවා වැනි අමාරුවකින් තොරව ජාතියේ කුඩා ළමුන් ගැටවරයන් හා වැඩිහිටියන් යන සියලූදෙනාම ගණනය කිරීමේ හැකියාව, සැලසුම් කිරීමේ හැකියාව, සැලැස්මක් ක‍්‍රියාත්මක කිරීමේ හැකියාව, පසුවිපරමක යෙදීමේ හැකියාව, සංස්ලේෂණය හා විශ්ලේෂණය, කළමනාකරණ හැකියාව හා මානසික ඒකාග‍්‍රතාව පවත්වාගෙන යාමේ හැකියාව පිළිබඳ චෙස්වලින් තරම් ප‍්‍රායෝගික හා න්‍යායික අවබෝධයක් ලබාදිය හැකි අන් කිසිම ක‍්‍රමයක් නැත. මේ සියලූ අංග එකට එකතු කළ අන් කිසිම විෂයයක් ඇතැ යි මම නොසිතමි. චෙස් ඉතාමත්ම ඉපැරණි ක‍්‍රීඩාවක්ව තිබියදී හා දැන් අප ජීවත්වන්නේ පරිගණක තාක්ෂණයේ ඉතාමත් දියුණු අවධියකදී වුවත් චෙස් ඉක්මවා යන බුද්ධිමය ක‍්‍රීඩාවක් නිර්මාණය කිරීමට පුළුවන් වී නැත. පරිගණක තාක්ෂණයට කළ හැකිව තිබෙන්නේ චෙස් ක‍්‍රීඩාවේදී තරගකරුවකු ලෙස යොදාගත හැකි පරිගණක නිපදවීම පමණය.

සිංහල භාෂාවෙන් චෙස් පොතක් ලිවීමට මා උනන්දු කළේ ඉංග‍්‍රීසි ජාතික දක්ෂ චෙස් ක‍්‍රීඩකයෙකි. චෙස් ක‍්‍රීඩාවේදී ඔහු පරාජය කිරීමේ හැකියාවක් මට නොතිබුණද ඔහු මා සැලකුවේ හොඳ තරගකරුවකු වශයෙනි. යුරෝපා රටවලද කලක් චෙස් රාජසභාවට හා ඉහළම උගතුන්ට පමණක් සීමාවී තිබූ ක‍්‍රීඩාවක්ව තිබූ බවත් එය සාමාන්‍ය මහජනතාව අතරට ගෙනයන්නට උත්සාහ කරන ලෙසත් ඔහු මගෙන් ඉල්ලා සිටියේය. මම ඒ ගැන විවිධ අත්හදා බැලීම් කර ඇත්තෙමි. චෙස්වලට පුංචි ළමයාගේ සිට මහල්ලා දක්වා ඕනෑම වයස් කාණ්ඩයකට අයත් අයගේ ඉක්මන් අවධානය ලබාගැනීමේ හැකියාව තිබෙනවා පමණක් නොව කොතරම් ඉහළ මට්ටමේ බුද්ධිමය ක‍්‍රීඩාවක් වුවද නූගත් මිනිසකුට පවා පහසුවෙන් ඊට එකතුවීමේ හැකියාව ඒ තුළ පවතී. මාගේ පුතාට චෙස්වලදී ජාතික ශූරතාව හිමිකර ගැනීමට හැකිවූයේ ගෙදර චෙස් ගසන පුරුද්ද නිසාය.

චෙස් විසින් ඔහුගේ ජීවිතයේ ඇතිවූ වෙනස්කම් මම නිරීක්ෂණය කර ඇත්තෙමි. පුංචි කාලයේදී ඔහුට ඉක්මනින් තරහ යෑමේ පුරුද්දක් තිබුණි. චෙස් නිසා ඔහු ඒ නරක පුරුද්දෙන් අත්මිදුණේය. චෙස් ඔහු සන්සුන් හා තැන්පත් කෙනෙකු බවට පත් කළේය.

ඔහු පාසල් ජීවිතයේදී මුහුණ දුන් විශාල ජීවිත අර්බුදයක් විසඳා ගත්තේද චෙස්වලින් වගා කරගෙන තිබූ ආත්ම සංයමය මගිනි. ඔහු තමන් අධ්‍යාපනය ලබමින් සිටි පාසලට චෙස්වලින් ලබාදිය හැකි හැම ගෞරවයක්ම ලබා දුන්නේය. කලක් කොළඹ හා නුවර අතර කැරකෙමින් තිබුණු චෙස් ආධිපත්‍යය ගාල්ලට රැුගෙන ආවේ ඔහුය. චෙස්වලින් ඔහු සිය විද්‍යාලයට විශාල කීර්තියක් හිමිකරදී තිබුණද විද්‍යාලයේ විදුහල්පතිවරයා පිළිබඳව රාවයේ පළවූ ප‍්‍රවෘත්තියක් හේතු කොටගෙන විදුහල්පතිවරයා ඔහුගෙන් එලව එලවා පළිගත්තේය. පළවූ එම ප‍්‍රවෘත්තියට මගේ හෝ පුතාගේ කිසිම සම්බන්ධයක් නොතිබුණද ප‍්‍රවෘත්ති පත‍්‍රයේ කර්තෘ මා වීම හේතු කොටගෙන විදුහල්පතිවරයා ඔහුගෙන් පමණක් නොව චෙස්වලින්ද පළිගත්තේය. ඒ වන විට ඔහු සිටියේ චෙස් ගසන අතර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම්වෙමිනි. ඔහු ඉගෙනීමට දක්ෂ කෙනෙකු වුවද විදුහල්පතිවරයාගේ පළිගැනීමේ ක‍්‍රියාවලිය ඉවසිය නොහැකිව ඔහු පාසල් යෑමෙන් වැළකී පූර්ණකාලීනව චෙස් ක‍්‍රීඩාවට යොමුවිය. උසස් පෙළ විභාගයට පෙනීසිටීමට නොහැකිවීම ගැන ඔහුගේ හිතේ ලොකු දුකක් තිබෙන බව පෙනුණද ඔහු මට හෝ රාවයට දොස් නොකීය. ඇතිවූ පාඩුව විඳ දරාගනිමින් ඔහු චෙස් ගැසීය.

අවුරුදු කිහිපයකට පසුව ඔහුට නැවත උසස් අධ්‍යාපනය ලැබීමේ ආශාවක් ඇතිවිය. ඔහු උසස් පෙළට සමාන ජාත්‍යන්තර විභාගයකට පෙනීසිටියේය. ඔහු එම විභාගයට පෙනීසිටියේ විද්‍යා විෂයයන්ගෙනි. හොඳ ප‍්‍රතිඵල ලබාගැනීමට ඔහු අසමත් වුවහොත් මානසික කඩාවැටීමකට ලක්වනු ඇතැ යි මා තුළ සැඟවුණු බියක් තිබුණි. ඔහු පෙනීසිටි හැම විෂයයකටම ඉහළම මට්ටමේ ලකුණු ලබාගනිමින් විභාගය සමත්ව තිබුණි. මම ඒ අවස්ථාවේදී ඔහුගේ විභාග සාමාර්ථයන් ගැනත් ඔහු ඊළඟට යෙදෙන්නට අපේක්ෂා කරන උසස් අධ්‍යාපනය ගැනත් ඔහු සමග කතාබහක යෙදුණෙමි. මා එහිදී ඔහුගෙන් නගන ලද එක ප‍්‍රශ්නයක් වූයේ වසර කිහිපයක් මුළුමනින් අධ්‍යාපනයෙන් ඉවත් වී පූර්ණකාලීනව චෙස් ක‍්‍රීඩාවට යොමුවී සිට නැවත අධ්‍යාපනයට මාරුවී තරගකාරී විභාගයකින් මෙතරම් හොඳ ප‍්‍රතිඵල ලබාගත්තේ කෙසේද කියාය. මානසික ඒකාග‍්‍රතාව ඇතිනම් ඕනෑම විෂයයක් පහසුවෙන් හැදෑරිය හැකි බවත් චෙස්වලින් තමන්ට ඒ උරුමය ලැබී ඇති බැවින් අවශ්‍ය ඕනෑම විෂයයක් සාර්ථක ලෙස ඉගෙන ගැනීමේ හැකියාව තමන්ට ඇති බවත් ඔහු කියා සිටියේය. අපි එම හැකියාව වෙනත් ළමුන්ට ලබා නොදෙන්නේ ඇයි?

දෙමාපිය ආධිපත්‍යය

දරුවන්ගේ හැකියාවන් හා ආශාවන් නොසලකා දෙමාපියන් කැමති වෘත්තියක් සඳහා අවශ්‍ය සුදුසුකම් ලබන අධ්‍යාපනයට සිය දරුවන් යොමු කිරීම බොහෝ දෙමාපියන් අතින් සිදුවන බලවත් වරදක් ලෙස සැලකිය හැකිය. මේ කාරණයේදී ළමුන්ට වැඩියෙන්ම බලපාන්නේ අම්මාය. උගත් මවක හා පියකු තමන්ගේ එකම දරුවා සමග ඔහු තෝරාගත යුතු වෘත්තීය අධ්‍යාපනය ගැන කැරෙන සංවාදයකට ඇහුම්කන් දීමේ අවස්ථාවක් මට ලැබුණි. පුතා අධ්‍යාපනයේදී ඉතාමත් දීප්තිමත් තත්ත්වයක සිටි ශිෂ්‍යයෙකි. මවගේ මතය වූයේ පුතා වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නා තැනකට යොමුවිය යුතු බවය. තාත්තා ඊට තරයේ විරුද්ධ විය. වෛද්‍යවරයකු වනවා නම් සිය සමාජ වගකීම් හොඳින් ඉටු කරන වෛද්‍යවරයකු වියයුතු බවත් එවැනි කෙනෙකුට යහපත් පවුල් ජීවිතයක් පවත්වාගෙන යෑමට බොහෝ විට ඉඩ නොලැබෙන බවත් පියා කියා සිටියේය. එම පුතා වෛද්‍ය අධ්‍යාපනය වෙනුවට නීති අධ්‍යාපනය තෝරා ගත්තේය.

විශ්වවිද්‍යාල ප‍්‍රධානියකුගේ දීප්තිමත් ශිෂ්‍යයකු වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා එම දෙමාපියන් එක්සත් රාජධානියට යැවීය. වෛද්‍ය විද්‍යාව හදාරමින් සිටියදී වසර දෙකහමාරකට පමණ පසුව වෛද්‍ය විද්‍යාව එපාවී ඔහු අලූතෙන් ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට මාරුවී එම විෂයයෙන් උපාධිය සම්පූර්ණ කරගැනීමට සමත් විය. ඔහු අසාර්ථක නැතත් වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා ගත කළ කාලය හා ඒ සඳහා දරන ලද විශාල වියදම අපතේ ගියේය. උගත් දෙමාපියන් දෙදෙනකුගේ දරුවකු දෙමාපියන්ගේ බලකිරීම් මත තමන් අකමැති විෂය ධාරාවක් තෝරාගෙන සදාකාලික උග‍්‍ර මානසික රෝගියකුගේ තත්ත්වයට පත්වූ අවස්ථාවක් ගැන මම දනිමි. ඒ නිසා ඔවුන්ගේ එකම දරුවාගේ ජීවිතය කාලකණ්ණි වූවා පමණක් නොව උගත් මව හා පියාගේ ඉතිරි ජීවිතයද කාලකණ්ණි විය.

මාගේ දෙවැනි දියණිය උසස් පෙළ දෙවැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටියදී සුදුසු මාතෘකාවක් තෝරාගෙන සමාජ ආකල්ප පිළිබඳව සමීක්ෂණයක් කොට එහි වාර්තාව ලබාදෙන ලෙස ගුරුවරයා ඇගේ පන්තියේ ශිෂ්‍යයන්ට නියම කර තිබුණි. ඒ සඳහා සුදුසු මාතෘකාවක් ලබාදිය හැකිදැ යි ඇය මගෙන් අසා සිටියාය. අධ්‍යාපනයේ විෂය ධාරා තෝරාගැනීම හා වෘත්තීය අපේක්ෂා යන මාතෘකාව යටතේ පන්තියේ සිටින ළමුන් මුල් කරගෙන සමීක්ෂණයක් කරන ලෙස ඇයට උපදෙස් දෙමින් ඒ සඳහා ප‍්‍රශ්නාවලිය සකස් කරගැනීමටද උදව් කළෙමි. මව හා පියාගේ සමාජ පසුබිම, තෝරාගත් විෂය ධාරාව හා අපේක්ෂා කරන වෘත්තිය කුමක්ද? ඒවා තෝරාගන්නේ ස්වකැමැත්තෙන්ද, නැත්නම් කාගේ හෝ බලකිරීමක් නිසාද? බලකිරීම ආවේ කාගෙන්ද? ඒ දෙක තෝරාගන්නේ බලකිරීම නිසා නම් හා නිදහසේ තෝරාගැනීමට අවස්ථාවක් ලැබුණේ නම් තෝරාගන්නා විෂය ධාරාව හා වෘත්තිය කුමක්ද යන මූලික කාරණා ඊට ඇතුළත් විය. එම සමීක්ෂණයෙන් ලැබුණු ප‍්‍රතිඵල අපූරුය. ඊට ඇතුළත් ප‍්‍රතිඵලවල නියම දත්ත මට මතක නැතත් ශිෂ්‍යාවන් සැලකිය යුතු පිරිසක් විෂය ධාරාව සේ ම අපේක්ෂා කරන රැකියාව තීරණය කර තිබුණේ ඔවුන්ගේ කැමැත්ත මත නොව දෙමාපියන්ගේ බලකිරීම නිසාය. එහිදී පියාට වඩා ඔවුන් කෙරෙහි බලපා තිබුණේ මවය. මෙය රටේ හැමතැනම පවතින පොදු තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. එහෙත් එය යහපත් ප‍්‍රවණතාවක් නොවන බව අවධාරණයෙන් කිව යුතුය.




Line
Sri Lanka