ravaya
83, පිළියන්දල පාර, මහරගම. දුරකථන: 2851672 / 2851673 කර්තෘ මණ්ඩලය: 2842064 බෙදාහැරීමේ අංශය: 2896330 ෆැක්ස්: 2851814 ඊමේල්: ravaya@gmail.com

දර්ශනයක් නැති ආණ්ඩුවක්

රට තිබෙන්නේ ප‍්‍රශ්න රාශියක ගිලීසිටිමින් සාජ්ජ දමන තත්ත්වයකය.

ආණ්ඩුව මොනවා කිව්වත් මේ වන විට මාසයක් තිස්සේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය මුළුමනින්ම පාහේ අක‍්‍රිය වී තිබේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැඩවර්ජනය අරඹන්නට සූදානම්ව සිටියදී ජනාධිපති ලේකම් සමග සාකච්ඡාවක් අරඹා වර්ජනය කල්දමාගන්නට ආණ්ඩුව උත්සාහ කළේය. ප‍්‍රශ්නය විසඳීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත්කිරීමේ යෝජනාවක්ද එහිදී ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ඉදිරිපත්වූයේය. මේ විසඳුම් දෙකම නොපිළිගෙන ආචාර්යවරුන් වැඩවර්ජනයට යෑම ගැන ආණ්ඩුවේ හිත රිදී තිබෙන බව පෙනෙන්නට තිබේ. සාකච්ඡා පැවැත්වීම වැඩවර්ජනය කරන අතරම කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරු තීරණය කළහ. එය නිවැරදි තීරණයකි. ආණ්ඩුවේ යෝජනා විශ්වාස කළ නොහැක්කේ, ආණ්ඩුවම සිය විශ්වාසවන්තභාවය බිඳගෙන ඇති හෙයිනි. මීට අවුරුද්දකට පෙර සිටම, උසස් අධ්‍යාපන ඇ...



දර්ශනයක් නැති ආණ්ඩුවක්

[Sunday, August 5, 2012]

රට තිබෙන්නේ ප‍්‍රශ්න රාශියක ගිලීසිටිමින් සාජ්ජ දමන තත්ත්වයකය.

ආණ්ඩුව මොනවා කිව්වත් මේ වන විට මාසයක් තිස්සේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය මුළුමනින්ම පාහේ අක‍්‍රිය වී තිබේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැඩවර්ජනය අරඹන්නට සූදානම්ව සිටියදී ජනාධිපති ලේකම් සමග සාකච්ඡාවක් අරඹා වර්ජනය කල්දමාගන්නට ආණ්ඩුව උත්සාහ කළේය. ප‍්‍රශ්නය විසඳීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත්කිරීමේ යෝජනාවක්ද එහිදී ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ඉදිරිපත්වූයේය. මේ විසඳුම් දෙකම නොපිළිගෙන ආචාර්යවරුන් වැඩවර්ජනයට යෑම ගැන ආණ්ඩුවේ හිත රිදී තිබෙන බව පෙනෙන්නට තිබේ. සාකච්ඡා පැවැත්වීම වැඩවර්ජනය කරන අතරම කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරු තීරණය කළහ. එය නිවැරදි තීරණයකි. ආණ්ඩුවේ යෝජනා විශ්වාස කළ නොහැක්කේ, ආණ්ඩුවම සිය විශ්වාසවන්තභාවය බිඳගෙන ඇති හෙයිනි. මීට අවුරුද්දකට පෙර සිටම, උසස් අධ්‍යාපන ඇමති, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, ඇමති බැසිල් රාජපක්‍ෂ, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම, වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසම වැනි පුද්ගලයන් හා ආයතන රාශියක් සමග විශ්වවිද්‍යාල ආචාර්යවරු දිගින් දිගටම සාකච්ඡා කළෝය. ඒවායේදී ආණ්ඩුවේ සාමාන්‍ය පිළිවෙත වූයේ එකඟතාවලට පැමිණීම හා ඒවා ක‍්‍රියාත්මක නොකිරීමයි. බොහෝ විට සිදුවූයේ වටයක් ගොස් ආපසු මුල් තැනටම පැමිණීමයි. අවසානයේ ජනාධිපති ලේකම්වරයා සමග සාකච්ඡාවද එවැන්නක් මිස වෙනත් දෙයක් නොවේ. ප‍්‍රශ්නය විසඳීමට ජනාධිපති කොමිසමක් පත්කිරීමේ යෝජනාවද හාස්‍යජනක එකකි. ජනාධිපති කොමිෂන් සභා අවිශ්වාසයට හා අවමානයට ලක්කරනු ලැබ ඇත්තේ රටේ ජනතාව විසින් නොවේ. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඇතුළු මෙතෙක් සිටි ජනාධිපතිවරුන් විසින්මය. රටේ වැදගත් ප‍්‍රශ්නවලදී පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාද, හමස් පෙට්ටියට දමන ලද ඒවායේ වාර්තාද සංඛ්‍යාවෙන් සුළුපටු නොවේ.

ප‍්‍රශ්නය තවදුරටත් ඇදීගිය විට, එය උසස්පෙළ විභාගයටද බරපතළ ලෙස බලපාන්නේය. උසස්පෙළ ප‍්‍රශ්න පත‍්‍ර ඇගැයීමේ කටයුතුවලින් බැහැරවන බව දැනටමත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ප‍්‍රකාශකොට තිබේ. එය, අවුල තවත් ප‍්‍රදේශයකටද පැතිරයෑමකි. එකටෙක බැඳුණු තවත් ප‍්‍රශ්න රාශියක ආරම්භයකි.

ඉසෙඞ්ස්කෝර් ප‍්‍රශ්නයද නැවත වටයකින් අධිකරණයට යෑම දක්වා දිගුවී තිබේ. රටේ තැන තැන උසස්පෙළ ශිෂ්‍ය උද්ඝෝෂණ පැනනැගී තිබේ. සමහර තැන්වල ශිෂ්‍ය උපවාසද ඇරඹී තිබේ.

රටේ උසස් අධ්‍යාපනය පිළිබඳ තත්ත්වය මෙලෙස හැම අතින්ම බැරෑරුම්ව තිබියදී, ප‍්‍රශ්නයේ බරපතළකම තේරුම්ගෙන සන්සුන්ව, දූරදර්ශීව හා ආණ්ඩුවක් ලෙස නුවණැ තිව දෙපාර්ශ්වය අතරම විශ්වාසය වඩවන ක‍්‍රියාමාර්ගයකින් ප‍්‍රශ්නයට අවතීර්ණවනවා වෙනුවට උසස් අධ්‍යාපන ඇමතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුවේ බලධාරීහු කරන්නෝ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රටේ සියල්ලන්ටම ඉහළින් වැටුප් හා වෙනත් දීමනා ලබන්නන් බවත්, ආණ්ඩුව අධ්‍යාපනයට යොදවන මුදල ගැන ඔවුන්ගේ විග‍්‍රහය වැරදි බවත් කියමින් කටමැත දොඩවමින් සිය උද්දච්චභාවය හා බැඳුණු අසමත්භාවය ප‍්‍රදර්ශනය කිරීම මිස අන් යමක් නොවේ.

රටපුරා වර්ධනය වන ළමා හා කාන්තා අපයෝජනයන් හා හිංසනයන් ගැන සලකන්න. සියල්ලන්ටම දැනෙන තේරෙන ප‍්‍රමාණයට ළමයින් හා කාන්තාවන් අපයෝජනයට ලක්වීමත්, එම අපරාධවල ස්වභාවයේ ගැඹුර හා බරපතළකමත්, ඒවාට ඇති ආණ්ඩුවේ හා විපක්‍ෂයේ දේශපාලන හා වෙනත් සමාජ බලපුළුවන්කාරයන්ගේ සම්බන්ධයත් වර්ධනයවී තිබියදී, ඒ තත්ත්වය පිළිබඳව ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා, ජාතික ළමාරක්‍ෂක අධිකාරිය ඇතුළු ආණ්ඩුවේ විග‍්‍රහය කුමක්ද? රටේ අපරාධ වර්ධනය වී නැති බවත්, සිදුවී ඇත්තේ වාර්තාවන ප‍්‍රමාණය වැඩිවීම පමණක් බවත්ය. ආණ්ඩුව තවදුරටත් කියන්නේ, රටේ ළමා හා කාන්තා හිංසනයන් ගැන වැඩියෙන් කතාකිරීම රට අස්ථාවර කිරීමේ හා අවමානයට පාත‍්‍රකිරීමේ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයේම එක් පෙරමුණක් බවය. ඒ අතර, ළමා අපයෝජනයන් සිදුවන්නේ පවුලේ සමීපතමයන්ගේ අතින් බවද එය වළක්වාගැනීමට සෑම නිවසකටම පොලිස් නිලධාරීන් දමන්නට බැරි බවද ආණ්ඩුව නිල වශයෙන්ම කියයි.

ඉතින්, රටේ අතිශය සංකීර්ණ ප‍්‍රශ්න පිළිබඳ විග‍්‍රහය මෙතරම් සරලමතික ලෙස කරන ආණ්ඩුවකින් ප‍්‍රශ්නවලට විසඳුම් බලාපොරොත්තුවන්නන්ගේ ඉරණම කුමක්ද?




Line
Sri Lanka