ravaya
83, පිළියන්දල පාර, මහරගම. දුරකථන: 2851672 / 2851673 කර්තෘ මණ්ඩලය: 2842064 බෙදාහැරීමේ අංශය: 2896330 ෆැක්ස්: 2851814 ඊමේල්: ravaya@gmail.com

විනාශයක් ළඟ ළඟ

වෙනත් සියලූම අංශවල ගරාහැලීමක් හා පරිහානියක් තිබියදීත් ක‍්‍රිකට්වලදී ශ‍්‍රී ලංකාව ජයග‍්‍රාහී හා කැපී පෙනෙන තත්ත්වයක් හිමිකරගෙන සිටියේය. දැන් ඒ තත්ත්වයද අහිමිවෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ. එය අපේ රටේ ආයතන ක‍්‍රමයේ ගරාහැලීම හා පරිහානිය තවත් වැදගත් අංශයක සංකේතාත්මකව හා ප‍්‍රබලව පෙන්නුම් කරමින් තිබෙන අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. රටේ සමස්ත ආයතන ක‍්‍රමයම තිබෙන්නේ අවුලෙන් අවුලට ගිය ගරාහැලෙන තත්ත්වයකය. එකතැන පල්වෙන හා ඵලදායකත්වය විශාල ප‍්‍රමාණයකට හීන කරමින් තිබෙන තත්ත්වයකය. දේශපාලනීකරණය, නීතියක් නැතිකම, අලසකම, නාස්තිය, අල්ලස හා දූෂණය රජකරන තත්ත්වයකය. විභාග දෙපාර්තමේන්තුවේ ප‍්‍රතිඵල අවුල එම ගරාහැලීමේ ක‍්‍රියාවලිය අලූතෙන් පෙන්නුම් කළ තවත් වැදගත් අවස්ථාවක් වන අතර රජයේ සේවකයන්ගේ වැටුප් ආරාවුල හා සරසවි ආරාවුලද එම අර්බුදයේම තවත් බලවත් ප‍්‍රකාශන දෙක...



විනාශයක් ළඟ ළඟ

[Sunday, January 22, 2012]

වෙනත් සියලූම අංශවල ගරාහැලීමක් හා පරිහානියක් තිබියදීත් ක‍්‍රිකට්වලදී ශ‍්‍රී ලංකාව ජයග‍්‍රාහී හා කැපී පෙනෙන තත්ත්වයක් හිමිකරගෙන සිටියේය. දැන් ඒ තත්ත්වයද අහිමිවෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ. එය අපේ රටේ ආයතන ක‍්‍රමයේ ගරාහැලීම හා පරිහානිය තවත් වැදගත් අංශයක සංකේතාත්මකව හා ප‍්‍රබලව පෙන්නුම් කරමින් තිබෙන අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. රටේ සමස්ත ආයතන ක‍්‍රමයම තිබෙන්නේ අවුලෙන් අවුලට ගිය ගරාහැලෙන තත්ත්වයකය. එකතැන පල්වෙන හා ඵලදායකත්වය විශාල ප‍්‍රමාණයකට හීන කරමින් තිබෙන තත්ත්වයකය. දේශපාලනීකරණය, නීතියක් නැතිකම, අලසකම, නාස්තිය, අල්ලස හා දූෂණය රජකරන තත්ත්වයකය. විභාග දෙපාර්තමේන්තුවේ ප‍්‍රතිඵල අවුල එම ගරාහැලීමේ ක‍්‍රියාවලිය අලූතෙන් පෙන්නුම් කළ තවත් වැදගත් අවස්ථාවක් වන අතර රජයේ සේවකයන්ගේ වැටුප් ආරාවුල හා සරසවි ආරාවුලද එම අර්බුදයේම තවත් බලවත් ප‍්‍රකාශන දෙකක් ලෙස සැලකිය හැකිය.

මෙම තත්ත්වය අද ඊයේ වහාම ඇතිවූවක් නොව බොහෝ කලකට පෙර ඇතිවී ක‍්‍රමානුකූලව වර්ධනය වී තිබෙන තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. රටේ ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් තිබෙන තෙක් ආයතන ක‍්‍රමයේ මෙම පරිහානිය මහජනයාට හෝ දේශපාලකයන්ට හොඳින් නොපෙනුණේය. ඒ සියලූදෙනා ජීවත් වූවෝ මරණ බියෙනි. ඔවුන්ගේ ප‍්‍රධාන අවධානය යොමුවී තිබුණේ ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් කෙරෙහිය. ඒ නිසා සියලූදෙනාට බාහිරෙන් එල්ල වී තිබුණු තර්ජනය මිස අභ්‍යන්තර පරිහානිය නොපෙනුණේය.

ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව ආයතන ක‍්‍රමයේ තිබෙන අවුල හා ගරාහැලීම ඒ සියලූදෙනාට හොඳින් පෙනෙන තත්ත්වයක් ඇතිකර තිබෙන්නේයැ යි කිවහැකිය. ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ ක‍්‍රියාවලිය විසින් දේශපාලන ක‍්‍රමයද නිරුවත් කොට තිබෙන්නේයැ යි කිව හැකිය. ඒ නිසා දේශපාලන ක‍්‍රමයේ නිරුවත් කර තිබෙන දේහය කුණුවී තිබෙන ප‍්‍රමාණය හොඳින් දැකබලාගැනීමේ අවස්ථාව දැන් මහජනතාවට ලැබී තිබෙන්නේයැ යි කිව හැකිය. සමහරවිට එය මේ තරමටම කුණුවී තිබෙන බව දේශපාලකයන්ට පවා හොඳින් පෙනෙන්නට පටන්ගෙන ඇත්තේද දැන් විය හැකිය.

දේශපාලන ක‍්‍රමය මේ තරම් කුණුවීමක් තිබියදීත් එල්ල වූ ත‍්‍රස්තවාදී අභියෝග ජයගැනීමට හැකිවීම රටේ වාසනාවකි. න්‍යායික අර්ථයෙන් ගත් කල දේශපාලන ක‍්‍රමය කොතරම් කුණුවී තිබුණද ත‍්‍රස්තවාදී අභියෝගයක් තිබියදී දේශපාලන ක‍්‍රමය වෙනස්කිරීමේ හෝ ප‍්‍රතිසංවිධානය කිරීමේ හැකියාවක්ද නොතිබුණි. ඓතිහාසික අර්ථයෙන් ඒ හැකියාව උදාවී තිබෙන්නේද ත‍්‍රස්තවාදය අවසාන වශයෙන් පරාජය කිරීමෙන් පසුවය.

මේ ක‍්‍රමය දැන් තිබෙන්නේ ක‍්‍රමය මුළුමනින් වෙනස් කිරීමකට හෝ ප‍්‍රතිසංවිධානයකට ලක්කිරීමෙන් තොරව එකම අඩියක්වත් ඉදිරියට යා නොහැකි තත්ත්වයකය. රාජ්‍ය නායකයා හා ආණ්ඩුව කොතරම් බලවත්ද නැද්ද යන්න ඊට වැදගත් නැත. විරුද්ධ පක්ෂවල තත්ත්වයද ඊට වැදගත් නැත. මෙම තත්ත්වය ආණ්ඩුවට පමණක් එල්ල වී තිබෙන දේශපාලන අභියෝගයක් ලෙස සැලකීම වැරදිය. මෙය සියලූ දේශපාලන පක්ෂවලට පමණක් නොව මුළු මහත් සමාජයටම එල්ල වී තිබෙන අභියෝගයකි. මෙම අවුල්සහගත තත්ත්වය එකට එකතුවී ජයගැනීමේ අවශ්‍යතාව තේරුම් ගැනීමට දේශපාලන පක්ෂ අසමත් වෙතොත් දැන් තැනින් තැන ඇතිවන පිපිරීම් එක මොහොතක එකට එකතු වී සිදුවන මහා පිපිරුමක් බවට පත්විය හැකිය. එය මහා විනාශයකින් කෙළවර විය හැකිය.

ආණ්ඩුව හා විරුද්ධ පක්ෂ පමණක් නොව අයිතිවාසිකම් සඳහා සටන් කරන්නන් ද ඇතිවී තිබෙන මෙම මහා අවුල දේශපාලන ක‍්‍රමයේ අපිළිවෙළ, නොගැළපීම් හා පරස්පරතා උග‍්‍රවීමෙන් ඇතිවූ තත්ත්වයක් ලෙස තේරුම් ගත යුතුය. මෙම අර්බුදයන් ජයගත හැකිවනු ඇත්තේ පාලක පක්ෂය පමණක් නොව, විරුද්ධ පක්ෂ ව්‍යාපාරද, වෘත්තීයවේදීන්, බුද්ධිමතුන් හා දැනුවත් මහජනතාවද එකට එකතු වී කුණුවී තිබෙන ආයතන ක‍්‍රමය ප‍්‍රතිසංවිධානයන් සඳහා පොදු එකඟතාවක් ඇතිකර ගනිමින් ඒ අරමුණ ඉවසිලිවන්ත ලෙස හා ප‍්‍රඥාවන්ත ලෙස ක‍්‍රියාත්මක කරන තැනකට යෑමෙනි. උදාවී තිබෙන මේ තත්ත්වය තේරුම් ගැනීමට දේශපාලන නායකයෝ අවශ්‍ය තරම් ප‍්‍රඥාවන්ත නොවෙත් නම් විශාල විනාශයක් ඇතිවීම නොවැළැක්විය හැකිය.

ජනවර්ග අර්බුදයට පමණක් නොව, රජයේ සේවකයන් මුහුණ දී සිටින වැටුප් අර්බුදයටද, දේශපාලනීකරණය, අල්ලස, දූෂණය හා නාස්තිය, ප‍්‍රතිපත්තියක් නැතිකම, දේශපාලනීකරණය, නීතියේ පාලනයක් නැතිකම වැනි ප‍්‍රශ්න විසඳාගැනීමේ හැකියාව ලැබෙනු ඇත්තේද දේශපාලන ක‍්‍රමය මුළු එකක් වශයෙන් ගෙන ප‍්‍රතිසංවිධානය කැරෙන තැනකට යොමුවීමෙන් පමණය. එය සියලූ දේශපාලන පක්ෂ හා සමාජය එකට එකතු වී ජයගත යුතුව තිබෙන අභියෝගයකි.




Line
Sri Lanka