ravaya
83, පිළියන්දල පාර, මහරගම. දුරකථන: 2851672 / 2851673 කර්තෘ මණ්ඩලය: 2842064 බෙදාහැරීමේ අංශය: 2896330 ෆැක්ස්: 2851814 ඊමේල්: ravaya@gmail.com

දර්ශනයක් නැති ආණ්ඩුවක්

රට තිබෙන්නේ ප‍්‍රශ්න රාශියක ගිලීසිටිමින් සාජ්ජ දමන තත්ත්වයකය.

ආණ්ඩුව මොනවා කිව්වත් මේ වන විට මාසයක් තිස්සේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය මුළුමනින්ම පාහේ අක‍්‍රිය වී තිබේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැඩවර්ජනය අරඹන්නට සූදානම්ව සිටියදී ජනාධිපති ලේකම් සමග සාකච්ඡාවක් අරඹා වර්ජනය කල්දමාගන්නට ආණ්ඩුව උත්සාහ කළේය. ප‍්‍රශ්නය විසඳීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත්කිරීමේ යෝජනාවක්ද එහිදී ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ඉදිරිපත්වූයේය. මේ විසඳුම් දෙකම නොපිළිගෙන ආචාර්යවරුන් වැඩවර්ජනයට යෑම ගැන ආණ්ඩුවේ හිත රිදී තිබෙන බව පෙනෙන්නට තිබේ. සාකච්ඡා පැවැත්වීම වැඩවර්ජනය කරන අතරම කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරු තීරණය කළහ. එය නිවැරදි තීරණයකි. ආණ්ඩුවේ යෝජනා විශ්වාස කළ නොහැක්කේ, ආණ්ඩුවම සිය විශ්වාසවන්තභාවය බිඳගෙන ඇති හෙයිනි. මීට අවුරුද්දකට පෙර සිටම, උසස් අධ්‍යාපන ඇ...



දින ගණින්න කෙනෙක් නැති කලවානේ ඉසෙඞ්ස්කෝර් සත්‍යග‍්‍රහය

අමිල ප‍්‍රදීප් [Sunday, August 5, 2012]

බලාපොරොත්තු ගොන්නක් පොදිබැඳගත්ත ද විසුල අහස යට පියඹන්නට, තටුසිඳී ගිය සඳ අන් කුමක් කරන්නද?

මේ එම තටු සිඳින ලද සියොතුන්ගේ රාවයයි,

අද මෙතන ඉන්නේ ගම්වල ඉපදුණු දුප්පත් ළමයි. මේ පැත්තේ හැමතැනම තියෙන්නෙ තේ වගාවයි. තේ ගස් එක්ක අපේ අම්මල තාත්තලා ගැටිලා හම්බකරගත්ත සල්ලි තමයි අපි අවුරුදු 3ක ටියුෂන්වලට ගෙව්වේ. මේ අසාධාරණයට ලක්වෙච්ච ළමයින්ගේ මානසිකත්වය හොඳටම බිඳ වැටිලයි තියෙන්නේ

නෙතට කදුළු බිදුවක් උපදන මේ කතාව අන් කවරකුගේවත් නොව ඉසෙඞ්ස්කෝර් ගැටලූව නිසා අසාධාරණයට ලක්වූ දෙවන වර පැරණි විෂය නිර්දේශය යටතේ පෙනීසිටි සිසු සිසුවියන්ගේය. විෂම සමාජය මේ යැයි හරි හැටි නොදන්නා ඒ හදවත් කෙසේ නම් මේ සිදුවූ විපරිතය ඉවසන්නේද?

අපි ගොඩක් හීන මාළිගා මවාගෙන හිටිය කැම්පස් යන්න. දුප්පත් අපිට කැම්පස් එකට යන එක තුළින් තමයි අපේ ජීවිත සාර්ථක කර ගන්න පුළුවන් වෙන්නෙ. එහෙම යන්න පුළුවන්කම තියෙද්දීත් සිද්ධ වෙන්නේ අසාධාරණයක්. ඒ අසාධාරණය සිද්ධවුණේ වගකිව යුතු අය වගකීම් විරහිතව කටයුතු කළ නිසයි

මේ වදන් බවට පත්වූ කඳුළුය. ඒ කඳුළු ගැලූ දෙනයන අන්කෙනකුගේ නොව පියඹන්නට වෙරදැරූ එක් කිරිල්ලියකගේය. ඇය නමින් අනූෂා සඳමාලිය.

අද ඔවුන් මහමගය. වේලක් හැර වේලක් අල්ලට සිඟාකා රාති‍්‍රය හා සැහැසි වූ දෛවය අතර බැටකමින් තමන්ට සිදුවූ අයුක්තිය කියන්නට කලවාන නගරයේ කෙළවරක දුහුවිලි සුළෙඟේ චණ්ඩ හිරු පහස විඳිමින් දින 10 ක් තිස්සේ කුසට අහරක් නොමැතිව තමන් මුහුණදී සිටින අසාධාරණයට එරෙහිව උපවාස කරති. ආඩම්බරකාර ජාතියේ පියකුගේ රැකවරණය නොලද්දවුන් සේ අද ඔවුන් සිය හිරිමල් යොවුන්විය වෙහෙසවන්නේ අන් කිසිවක් නිසා නොව උදැල්ලට යටවූ සිය මාපිය දහඩිය මහන්සියට නිසි වටිනාකමක් දෙන්නට කැපකළ සිය ජීවිතයට සාධාරණය ඉටුකර දෙන්නැයි ආයාචනා කරන්නට පමණකි.

අද ඔවුන්ගෙන් බලධාරීන් කිසිවකුත් නොඅසන පැණයක් ඇත. ඒ විය යුත්තේ කුමක්ද යන්න පමණි. මන්ද ඔවුන් දෙන පිළිතුරට ප‍්‍රතිපිළිතුරු දෙන්නට බලධරයන් සතුව පිළිතුරු නැති නිසාය.

ඉසෙඞ්ස්කෝර් ගැටලූව නිසා අසාධාරණයට ලක්වූ කලවාන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අඛණ්ඩ සත්‍ය ග‍්‍රහයට අගෝ.02දාට දින 10කි. ඔවුන්ගෙන් කෙනකුට ජලය පොදක් හැරෙන්නට කුස පිරෙන්නට තරම් කෑම වේලක් නැත. පදිකවේදිකාවේ තුට්ටුවට විණිණෙන ඉටිමල් සේ අද මේ මල් කැකුළු දුහුවිල්ලෙන් නෑවී ගොස්ය. ඔවුන්ගෙන් ඇතැමකු රෝහල් ගත වී සිටී. ඒ රටේ අධ්‍යාපනය පිළිබඳ හැඟීමක් නැති ඇමතිවරුන් දෙනකුගේ අදූරදර්ශි ප‍්‍රතිපත්ති නිසාය.

මේගොල්ලො මේ සෙල්ලම් කළේ ළමයින්ගේ ජීවිතත් එක්කයි. දැන් කියනවා දවස් හතර පහකින් විභාගයට අයදුම් කරලා සති දෙක තුනකින් විභාගයට ලියන්න කියලා. එහෙම පුළුවන් නම් මොකටද උසස් පෙළට ළමයින්ට අවුරුදු 2ක් ලබාදෙන්නේ. අවුරුදු 2කින් තමයි විෂය නිර්දේශය ඉවර කරන්න පුළුවන් වෙන්නේ.

දැන් මෙතන ළමයි ගොඩක් රෝගි තත්ත්වයක ඉන්නෙ. මෙතන ගොඩක් දුවිලි. වතුර නෑ. නාන්න නෑ. එහෙමයි අද අපි මෙතන දුක්විඳින්නෙ. අපිට කිසිම පහසුකමක් නෑ. බලධාරීන් අපිට උත්තර දෙනවා වෙනුවට මෙතනට ඇවිත් අපෙන් ප‍්‍රශ්න අහනවා. එච්චරයි කරන්නේ. අධ්‍යාපනය වෙනුවෙන් වැඩබැරි දාසලා ගෙන් සාධාරණයක් අපේක්ෂා කළ නොහැකිය. එසේ නමුත් අහිංසක බලාපොරොත්තු ගොන්නට පුබුදින්නට නිසි වැඩ පිළිවෙළක් සකස් කිරීම පෞද්ගලික විශ්වවිද්‍යාල ගොඩනගන්නට ගෝරනාඩුකරමින් දැඟලීමට වඩා වැදගත් බව බලධාරීන් අවධාරණය කර ගත යුතුය.

මම ඒ 3ක් ගත්තා. මගේ ?න්ක් එක තිබුණේ 1.7266. දැන් ඇවිල්ලා තියෙන සංශෝධනය හරහා මට ලැබිලා තියෙන්නේ 1.32 වගේ ප‍්‍රමාණයකුයි. එතනදී මගේ දිස්ති‍්‍රක් කුසලතාව 409යි. අපිට වඩා ඉසෙඞ්ස්කෝර් එක අඩු අයට දිස්ති‍්‍රක් කුසලතාව 4,5 ලැබිලා තියෙනවා.

මේ කතාව සත්‍ය නම් නැවත වතාවක් කුමක් හෝ අඩුපාඩුවක් සිදුව තිබේ. විභාග අංක 1640194 යන අංකය යටතේ විභාගයට පෙනීසිටි ශිෂ්‍යාවගේ සාමාර්ථ සී,බී,එස් වන අතර ඉසෙඞ්ස්කෝර් අගය 0.2504කි. දිස්ති‍්‍රක් සාමාර්ථය 4වන ස්ථානයත්, දිවයිනේ කුසලතාව 200 ත් ලෙස දක්වයි.

ඒ 3ක් ලබාගත් කෙනකුගේ දිස්ති‍්‍රක් කුසලාව 409 වන විට පහළ මට්ටමේ සාධන මට්ටම ලබාගත් කෙනකුගේ දිස්ති‍්‍රක් කුසලතාව 4 වේ නම් එය මහත් අවුලකි. අවුල ලිහන්නට ලිහන්නට සිදුවන්නේ තව තවත් එහිම පැටලීම පමණි. ඇසිය යුත්තේ අවුල ලිහාගැනීම හෝ අවුල කුමක්ද යන කාරණය නොව මේ අහිංසක ජීවිතවලට සිදුවන්නේ කුමක්ද යන්න පමණි.

අපේ දෙමාපියන්ගේ රැුකියාව වුණේ තේ කර්මාන්තයයි. තේ කර්මාන්තයෙන් තමයි ඒ අය අපිව පෝෂණය කළේ. අපි වත්පොහොසත්කම් තියන අය නෙමෙයි. දෛනික ආදායමින් ජීවිතේ ගැටගහ ගන්න අය. බලධාරීන්ට දැනෙන්නේ නැද්ද මේ අය සෙල්ලම් කරන්නේ ශිෂ්‍යයන්ගේ ජීවිතය එක්ක කියන එක. ඒ අයට තේරෙන්නෙ නැද්ද අපේ දෙමාපියන්ගේ වේදනාකාරී තත්ත්වය. අනේකවිධ කම්කටොලූ මැදින් ජීවිතය ජයගැනීමට වෙරදැරුවද කොහේවත් නැති වරදකට දඬුවම් ලැබුණේ ඔවුන්ටය. මේ වරදක් නොකොට දඬුවම් ලැබූ තවත් කෙනෙකි. ඔහු නමින් සමීර සඳරුවන්ය.

මම නීතිය හදාරන්න බලපොරොත්තු වුණේ. එහෙත් මගේ දීර්ඝකාලීන රෝගි තත්ත්වය නිසා මට ඒ අරමුණට ළඟාවෙන්න බැරිවුණා. මොකද ඒ තමන්ගේ අධ්‍යාපනයට බලපෑ නිසයි. ඒවුණත් මම අපහසුතා මැද කොහොම හරි ළකුණු ගත්තා. මුලින්ම මට ආපු රිසල්ට්ස් එක්ක කොළඹ කැම්පස් එකට යන්න පුළුවන්කම තිබුණා. එහෙත් දැන් තියෙන තත්ත්වය එක්ක කොළඹ කැම්පස් එකට තියා කැම්පස් එකකට ඇප්ලයි කරන්නවත් මට සුදුසුකමක් නෑ. මේ ඉසෙඞ්ස්කෝර් එකත් එක්ක. සිය අසාර්ථක දරුවන් සාර්ථක කරන්නට මිලියන ගණන් රටේ මුදල් යොදවන තාත්තලා සිටින මෙවන් රටක සිය ජිවිතයට ආ බාධක පරයා නැගී සිටි මෙවන් පිරිසකට වුණු අසාධාරණය දෙස බලන්නට කිසිවකුත් නැත. කිසිදු වැදගැම්මකට නැති ඉසෙඞ්ස් ලකුණක් නිසා අද ඔවුන් අසරණව ඇත. අනෙක් අතට රටක අනාගතය තීරණය කරන වැදගත්ම සාධකයක් වන අධ්‍යාපන ක්ෂේත‍්‍රය වැනි තැනක සිදුවන අක‍්‍රමිකතා බලපාන්නේ පුද්ගලයන් කිහිපදෙනකුට නොව සමස්ත රටටය. දැන් තිබෙන තත්ත්වය යටතේ උසස් පෙළ ප‍්‍රතිඵල තෙවරක් සංශෝධනය කිරීම මගින් පෙන්වන්නේ අධ්‍යාපන අමාත්‍යංශයේ පවතින අක‍්‍රමවත් බවයි. මේ තත්ත්වය යටතේ විභාගයට මුහුණදුන් පිරිසගේ පමණක් නොව උසස් පෙළ විභාගයට මෙවර මුහුණ දීමට සූදානමින් සිටින පිරිසකගේ ද ජීවිතය අඳුරේය. මන්ද මේ වන විට සමස්ත ජාතික විභාග ක‍්‍රමය පිළිබඳව කිසිදු විශ්වසනීයත්වයක් නැති නිසාය. වෙනකක් තබා මෙවරත් යම් පිරිසක් පැරණි විෂයය නිර්දේශය යටතේ විභාගයට පෙනීසිටීමට සූදානම් වන බැවින් ඔවුන්ගේ ප‍්‍රතිඵලත් මෙවන් අවුලකට පත් නොවනු ඇතැයි කිවහැක්කේ කාහටද?

දැන් අහසට පොළව වගේ ප‍්‍රතිඵල වෙනස්වීම පිළිබඳව අපිට ගැටලූවක් තිබෙනවා. අපට දැන් අපේ අරමුණුවලට යන්න හැකියාවක් නෑ. අරමුණු කෙසේවෙතත් විශ්වවිද්‍යාලය අසලටවත් යන්න බැරි තත්ත්වයක් උදාවෙලයි තියෙන්නේ. අපි ඒ 3ක් ගත්තත් මහපාරවල පිකට් කරන්න වෙලා තිබෙනවා. එහෙත් බී 3ක් ගත්ත අය කැම්පස් යන්න තේරිලා තියෙනවා. එසේ පැවසුවේ කපිල රණසිංහය.

අපි ගොඩක් දුක්විඳලයි මේ ප‍්‍රතිඵල ගත්තේ. ඒ අරගෙනත් අපිට අපේ අවස්ථාව ලබාගන්න සත්‍යග‍්‍රහ කරන්න වෙලා තිබෙනවා. අද වෙනකොට අපේ ගොඩක් අය ඉස්පිරිතාලෙයි ඉන්නේ. අපිට තවදුරටත් මේ සත්‍යග‍්‍රහය පවත්වන්න අමාරුයි. එහෙත් වගකීමෙන් බලධාරීන්ට පවසන්නේ අපි සත්‍යග‍්‍රහය අඛණ්ඩව පවත්වාගෙන යනවා කියලයි. දැන් මහපාරේ දිවා ? ඉඳීමෙන් ඔවුන් හෙම්බත් වී අවසානයි. යම් හෙයකින් මේ තරුණ ජීවිතවලට යම් අනතුරක් වුවහොත් වගකිව යුත්තෝ අන් කවරකුත් නොව නන්දොඩවන අධ්‍යාපන බලධාරීන්ය.

අපි වෙන කිසිවක් නොමෙයි ඉල්ලන්නේ. අපි ඉල්ලන්නේ අපිව තවදුරටත් අපහසුතාවට පත් නොකර අපේ ප‍්‍රශ්නයට පිළිගත හැකි විසඳුමක් දෙන්න කියලයි. හුඟක් කැමැත්තෙන් හිටියේ පුරාවිද්‍යාව කරන්නයි. ඒත් දැන් පුරාවිද්‍යාව තබා කැම්පස් එකකට ඇප්ලයි කරන්නවත් මට අවස්ථාවක් ලැබෙයිද කියලා අවිනිශ්චිතයි. කපිල රණසිංහ වැඩිදුරටත් පවසයි.

දැන් ඔවුන්ගේ හීන බලාපොරොත්තු ඇත්තේ මන්දා ලෝකයේදී අඳුරු වර්ණ රේඛාවන් පෙනෙන්නාක් සේ අපැහැදිලිය. සියල්ල බොඳ වී යන කළ ඔවුන් කළ යුත්තේ කුමක්ද?

උසස් පෙළ කරලා සාමාන්‍යයෙන් ඒ 3ක් ගත්තම අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් කියලයි අපි දන්නේ. එහෙත් මෙතන ඉන්න සෑම කෙනෙක්ම ඒ 3 ගත්ත අයයි. එහෙත් දැන් තිබෙන තත්ත්වය යටතේ 70%ක් අලූත් නිර්දේශය යටතෙත් 30%ක් පැරණි නිර්දේශය යටතේ ගන්න නිසා අපට ඒ 3 ගත්තත් විශ්වවිද්‍යාලයට යන්න බැරිවෙන තත්ත්වයක් තමයි තිබෙන්නේ. අපි සමග එසේ කීවේ ජගත් චන්ද්‍රසිංහ ශිෂ්‍යයායි. ඒ 3 ලංකාවේ අධ්‍යාපනය පොදු සහතික පත‍්‍ර උසස් පෙළට අනුව ඉහළම ලකුණු මට්ටමයි. ඒ 3ක් ලබාගෙන මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ජාතික විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට නොහැකි වුවද සමහර සංවේදි පියවරුන්ගේ පුතුන් උසස් පෙළ සමත් වුවත් නැතත් රටේ ඉහළටම යයි.

ඒ 3 ගත්තු ළමයා ගෙදර ඉන්න කොට බී,සී,එස් ගත්ත ළමයා නීති පීඨයට යන්න සමත් වෙනකොට කොහොමද කියන්නේ විභාග ගණනය කිරීම් හරි කියලා. අපි කියන්නේ අපි ලබාගත් ප‍්‍රතිඵලයට නිශ්චිත ඉසෙඞ්ස් අගයකුයි දිස්ති‍්‍රක් මට්ටමකුයි ලබාදෙන්න කියලයි. මේ ප‍්‍රතිඵල වැරදි කියල ඔප්පු කරන්න සාධක අපට හැකිතරම් තිබෙනවා. අපි කියන්නේ පැරණි හා නව නිර්දේශ යන දෙකෙහිම පිරිසට සාධාරණයක් ඉටුකරන්න කියලයි. මුලින්ම රජය කියපු දේවල් දැන් වෙනස්කරලා තියෙනවා. දැන් කියන්නේ වෙනත් කාරණාවක්. අපිට නොයෙක් පොරොන්දු දෙනවා. අපි දන්නේ නෑ කවුද මේකට නියම වගකිවයුත්තා කියලා. එහෙත් අපි කියන්නේ අපට සාධාරණය ඉෂ්ඨ කරන්න කියලයි. අපි රට පෙරලන්නවත් වෙන දෙයක් කරන්නවත් නෙමෙයි මේ කරන්නේ අපිට ඉගෙන ගන්න අවම අවස්ථාවක් ලබාදෙන්න කියලයි.

ඔවුන්ගේ ඉල්ලීමකට කන්දෙන්නට රජයේ කිසිවකුටත් වුවමනාවක් නැහැ. ඒ පිළිබඳ ඔප්පුකරන සාධකයකි, මෙම මිනිසුන්ට අධ්‍යාපන නියෝජ්‍ය ඇමති ලබාදුන් පිළිතුරු විජිත් විජිතමුණි සොයිසා ඇමතිතුමා මෙතැනට ආවා. මේ ප‍්‍රශ්නය ගොඩක් කල්යන එකක් බවත්, තමන්ට ඒකට විසඳුම් ලබාදෙන්නට විසඳුම් සාක්කුවේ නැති බවත් අපිට කිව්වා. යන ගමන් ආයෙත් එන්නම් කියලා ගියා ගියාමයි පැත්ත පළාතේ ආවේ නෑ.

විසඳුම් ලබාදිය නොහැකිනම් ඇමති ධුරයක් ලබාගෙන කරන්නේ අසවල් දෙයක් දැයි ඔවුන්ගෙන් ඇසිය යුතුය. සොයා බැලූ ඕනෑම මොහොතක විදේශ සංචාරවල යෙදී සිටින ඇමතිවරු මහජන මුදල් නාස්තිකරනවා විනා ජාතිකමය වටිනාකමකින් යුත් ගැටලූ කෙරෙහි ලබාදෙන සාර්ථක විසඳුමක් නොමැත.

අපි මාස 7ක් තිස්සේ ගොඩක් බලාපොරොත්තු තියාගෙන සිටියා. මම නීතිය හදාරන්න බලාපොරොත්තු තියාගෙන හිටියා. ඒ හැම දේම වෙනස් වුණේ. නව විභාග ලකුණු සංශෝධනය නිසයි. මම ඉල්ලන්නේ අපට අපේ අධ්‍යාපනය ඉදිරියට කරගෙන යන්න අවස්ථාවක් දෙන්න කියලයි. ඒ 3ක් ප‍්‍රතිඵලයක් ලබාගත් ගයානි ප‍්‍රදීපාය.

සෑමකෙනෙකුගේම ආයාචනය එයයි. නිසි අධ්‍යාපනයක් නොමැතිව රටේ බලවත් තනතුරු හොබවන අය සිටිනා රටක අන් කිසිවක් තබා උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලබාඇති පිරිසකට එය ලබානොදෙන කල ඒ අවනඩුව කිව යුත්තේ කාටද?

ඉසෙඞ්ස් ලකුණෙහි නිරවද්‍ය බව කිවහැක්කේ බාහිර පුද්ගලයන්ටනොව එය ගණන් කළ පිරිසටමපමණකි. දැන් එහි දෝෂය කාටහෝ පවරා ඇඟ බේරා ගැනීමට බලධාරියාට හැකිය. එහෙත් එයින් මේ ජීවිතවලට වන සෙතක් නම් නැත. කළ යුත්තේ නැවතත් ජනාධිපති කමිටුපත් කිරීම හෝ කාටහෝ වරද පැවරීම නොව අසාධාරණයකට ලක්වූ පිරිසට සාධාරණයක් කිරීම පමණි. එසේ නොමැති වුවහොත් බොහෝ තරුණ ජීවිත විනාශ වීමේ වගකීම ජාතියක් වශයෙන් ශී‍්‍ර ලාංකිකයන් හැමදෙනා භාරගත යුතුය.




Line
Sri Lanka