ravaya
83, පිළියන්දල පාර, මහරගම. දුරකථන: 2851672 / 2851673 කර්තෘ මණ්ඩලය: 2842064 බෙදාහැරීමේ අංශය: 2896330 ෆැක්ස්: 2851814 ඊමේල්: ravaya@gmail.com

ජය පරාජය කුමක් වුවත්

ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ශ‍්‍රී ලංකාවට අදාළව ඇමරිකාව ඉදිරිපත් කර තිබෙන යෝජනාවෙන් ලැබෙන ජය පරාජය කුමක් වුවත් සන්සුන්ව හා ඥානාන්විතව ක‍්‍රියාකිරීමේ වගකීමක් ශ‍්‍රී ලංකාවට ඇත්තේය. විරෝධය පෑම්, උද්ඝෝෂණය කිරීම්, තෝරාගත් රටවල භාණ්ඩ වර්ජනය කිරීම් වැනි දේවල් නිසා වියහැක්කේ තිබෙන අවුල්සහගත තත්ත්වය තවදුරටත් වර්ධනයවීම පමණය. ඒ දේවල් නිසා මෙතෙක් සිදුවූයේද ප‍්‍රශ්නය තව තව අවුල්වීම මිස, ලිහිල්වීම නොවේ. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රශ්නය නිසා දැන් ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව තිබෙන්නේද අස්ථාවර තත්ත්වයකය. එය ඉන්දියාවේ යහපතට හේතු නොවනවා සේ ම ශ‍්‍රී ලංකාවේ යහපතටද හේතුනොවන්නේය.

විරුද්ධ පක්ෂ ව්‍යාපාරයද මේ අවස්ථාවේදී බොරදියේ මාළුබාන තැනකට නොයා යුතුය. මේ ආණ්ඩු ක‍්‍රමය තුළ සාමාන්‍ය ලක්ෂණයක් බවට පත්ව ඇති ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂ ව්‍යාපාර අතර පවත්නා වෛරස...



ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය ඖෂධ මාෆියාවට පිළියමක්

සෞඛ්‍ය අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන

විමලනාත් වීරරත්න [Sunday, March 18, 2012]

සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ ඖෂධ මාෆියාවක් කි‍්‍රයාත්මක වන බව ඔබ අවස්ථා කිහිපයකදී ප‍්‍රකාශ කර තිබුණා. එහි ස්වභාවය සහ ඒ ගැන ඔබගේ විශේෂ ඇත්දැකීම් මොනවාද?

ඖෂධ මාෆියාව අලූත් දෙයක් නෙවෙයි. ඒක මුළු ලෝකයේම තිබෙන ජාවාරමක්. ලෝකයේ තිබෙන දූෂිත ව්‍යාපාර අතර අංක එක තමයි ආයුධ වෙළෙඳාම. දෙක ඖෂධ වෙළෙඳාම. මේ දෙකේම ඉන්නේ පුංචි මිනිස්සු නෙවෙයි. අපි වගේ පුංචි රඳූ ටක් මේ ජාවාරම්කාර දූෂිත ව්‍යාපාරිකයන්ගෙන් බේරෙන්නේ කොහොමද කියන එක අපි ඉදිරියේ තිබෙන ලොකු අභියෝගයක්. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අපි නිෂ්පාදනය කරන්නේ බටහිර ඖෂධ වර්ග 41 යි. මේ රටේ පෞද්ගලික සමාගම් බටහිර ඖෂධ 40 ක් විතර නිෂ්පාදන කරනවා. සාමාන්‍යයෙන් අප එදිනෙදා පාවිච්චි කරන ඖෂධ ප‍්‍රමාණය 1450 ක් විතර වෙනවා. මේවායින් අත්‍යවශ්‍ය ඖෂධ ප‍්‍රමාණය 282 ක් පමණ වෙනවා. සාමාන්‍යයෙන් පාවිච්චි කරන ඖෂධ වර්ග 1450 කින් අපි රට තුළ නිපදවන්නේ 85 කට අඩුවෙන්. ඖෂධ වර්ග සියයක්වත් ආණ්ඩුව හා පෞද්ගලික අංශය නිෂ්පාදනය කරන්නේ නැහැ. අපි අනායනය කරන ඖෂධවලින් 80% ක් මිලදී ගන්නේ ඉන්දියාවෙන්. ඉතිරි 20% බටහිරටවල් වලින්. සෞඛ්‍ය අමාත්‍යාංශය හා ඖෂධ සංස්ථාව තුළ එක දවසකට ටෙන්ඩර් 35-40 ක් විවෘත වෙනවා. එතකොට මේක අමාත්‍යාංශයකට වඩා විශාල සමාගමක ස්වරූපය තමයි ගන්නේ. මෙය විශාල ධනස්කන්ධයක් සංසරණය වන කි‍්‍රයාවලියක්. මෙහි වගකීම් දරන සියලූ නිලධාරීන්ට දැඩි අවංකභාවයක් අවශ්‍යයි මේ කටයුතුවලදී. නමුත් දීර්ඝ කාලයක් මේ වැඩකටයුතු අභ්‍යන්තරයේ තිබුණේ ඉතා නරක තත්ත්වයක්. ව්‍යාපාරික ආයතන හා ඇතැම් නිලධාරීන් දූෂිත ලෙස කටයුතු කර තිබෙනවා. ජාවාරම්කාර ආයතන සමඟ සමහර නිලධාරීන්ට තිබෙන නරක සම්බන්ධය උඩ මේ පටිපාටීන් නිවැරදි කිරීම පහසු කාර්යයක් නොවෙයි. හැම නිලධාරියකුම දූෂිත නැහැ. අවංක මිනිසුන් ටික දෙනෙක් හරි ඉන්නවා. වැරදි කරන අය ඒක කරන්නෙත් සංවිධානාත්මකව හා තමන්ගේ දැනුම පාවිච්චි කරලයි. මේ තත්ත්වය නරකයි. වාර්ෂික ටෙන්ඩර් හිතාමතා ප‍්‍රමාද කරන අවස්ථා තිබෙනවා. ඒ වගේ අවස්ථාවලදී රෝගීන්ට මැරෙන්න දෙන්න බැරි නිසා අපට හදිසි මිලදී ගැනීම් කරන්න වෙනවා. හදිසි මිලදී ගැනීම් සඳහා ඉඩ සැලසීමට තමයි ටෙන්ඩර් හිතාමතා ප‍්‍රමාද කරන්නේ. පසුගිය 2011 වසර ගතහොත් එකම අත්වැසුම් ටෙන්ඩරයක්වත් නැහැ. එකම සමාගමකින් තමයි වසර 7-8 ක් අත්වැසුම් අරගෙන තිබුණේ. ඒවායේ මිල ගණන් අසාධාරණයි. ටෙන්ඩර කැඳවීමෙන් ඒ සමාගම රු.22/-ට දෙන අත්වැසුම් හදිසි මිලදී ගැනීම්වලදී දෙන්නේ අත්වැසුම රු.47/-ට. හදිසි මිලදී ගැනීම්වලදි අපි රෝහල්වලට බලය දීලා තිබෙනවා අත්වැසුම් මිලදී ගන්න. එතනදී ඔවුන් රෝහල්වලට දෙන්නේ අත්වැසුමක් රු.67 බැගින්. ටෙන්ඩර් එකේදී ඔවුන් අපිට අත්වැසුමක් රු.22/-ට දෙන්නේ ලාභයක් තියාගෙනනේ. රෝහල්වලට හදිසි මිලදීගැනීමකදී ඒමට රු. 67 ට දෙනවා නම් මෙතන සිදුවන්නේ මොනතරම් ලොකු ගසා කෑමක්ද? 2011 ග්ලව්ස්වලට විතරක් බිලියන එකකට වැඩි මුදලක් දූෂිත විධියට පරිහරණය කර තිබෙනවා. ඒ ටෙන්ඩර් කි‍්‍රයාවලියෙන් බැහැරව ගිහිල්ලා. ඇතැම් නිලධාරීන් ටෙන්ඩර්වලට පිටින්ගොස් වැඩකරන ප‍්‍රවණතාව වැඩියි. මිල ගණන් කැඳවීමේ ක‍්‍රමය හරිම දූෂිතයි. ඕනෑම වරදක් කිරීමේ ඉඩ විවරවෙලා තිබෙනවා. තමන් කැමති සමාගමක් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. අවංකව වැඩකරන සුළුපිරිසට හැමතැනම හිටගෙන මේක බලාගෙන ඉන්න බැහැනේ. අපි හිතමු මිලියන සියයක පැරසිමමෝල් ටෙන්ඩරයකින් ගත්තයි කියලා. ඒක ගෙනැල්ලා ගබඩා භාරකාරයාට දෙන්නේ මිලියන 75 යි. මිලියන 25 ක් නැහැ. එහෙත් ගබඩාභාරකරු මිලියන 100 යි කියලා පොතේ ලියා ගන්නවා. සමාගම සෞධ්‍ය නිලධාරීන් ගබඩාකරු අතර දූෂිත ගනුදෙනුවක් බවට ඒක පත්වෙනවා.

මේ ප‍්‍රශ්නයටත් යම් පිළියමක් ලෙස තමයි අපි ඖෂධ ප‍්‍රතිපත්තිය ක‍්‍රමයෙන් කි‍්‍රයාත්මක කරන්න සැලසුම් සකස් කරමින් සිටින්නේ. මේ සතියේදී අපට ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය කි‍්‍රයාත්මක කිරීම සඳහා වන ආයතනය පිහිටුවීමට අවශ්‍ය පනත ලැබෙනවා. ජාතික ඖෂධ නියාමන ප‍්‍රමිති අධිකාරිය පිහිටුවීමට අවශ්‍ය පනත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් ලැබේවි. වසරක් තිස්සේ මම දැකපු මහන්සියක ප‍්‍රතිඵලයක් ඒක. ඉදිරි මාස තුන ඇතුළත එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකිවේවි. මෙම ක‍්‍රියාවලිය හරහා ඖෂධ ජාවාරම මර්දනය කිරීමට මූලික පියවර ගැනීම තමයි මගේ ආරක්ෂාව.

ඖෂධ ප‍්‍රතිපත්තියෙන් ඖෂධ මාෆියාව මර්දනය කළ හැකිද? ඉහත කියවුණු කරුණු අනුව නිලධරී තන්ත‍්‍රය කළමනාකරණය කර ගැනීම බරපතළ කාරණයක් බවට පත්ව තිබෙනවා නේද?

ඖෂධ ප‍්‍රතිපත්තිය හා ආයතන පිහිටවෙව්වත් ඒවායේ වැඩකරන නිලධාරීන් අවංක නැත්නම් ආයතන හා නීති විනාශ කරන්න පුළුවන්. ඒ නිසා ඒ තැන්වලට පත්වන අය අනුව තමයි හැම තැනකම සාර්ථකත්වය රඳා පවතින්නේ. නැත්නම් මහජනයාට අපේ බලාපොරොත්තු වන සේවය ඉටුවන්නේ නැහැ තමයි.

අනෙක් අනුව මේ තාක්ෂණික කාරණාවලින් පිරුණු විෂයයක් නිසා නිලධරී තන්ත‍්‍රය නැතුව දේශපාලනඥයන්ටත් වැඩ කළ නොහැකියි. මේ පිළිබඳ ඔබේ අවධානය යොමුවන්නේ කොහොමද?

ලංකාවේ පළමුවැනි සෞඛ්‍ය ඇමතිවරයා බණ්ඩාරනායක මහතායි. ඔහුගේ සිට වර්තමානයේ මම මේ ධුරය දරන කාලය දක්වා වෛද්‍ය වෘත්තිකයන් හැටියට සෞඛ්‍ය ඇමතිධූරය හොබවා තිබෙන්නේ දෙදෙනෙක් පමණයි. අනික් අය සාමාන්‍ය දේශපාලනඥයෝ. දේශපාලනඥයා කියන්නේ හැම විෂයක් පිළිබඳව පුළුල් විෂය දැනුමක් කියන කෙනෙක් නොවෙයි. අද ඕනම ඇමතිවරයකුට තම විෂය පථය තුළ කළ යුතුව තිබෙන්නේ ප‍්‍රතිපත්ති සම්පාදනය, ක‍්‍ර‍්‍රියාත්මක කිරීම හා යහපාලනයක් සඳහා ආයතන සකස්කිරීමයි. ඇමතිවරයාගේ යුතුකම හා වගකීම වන්නේ එයයි. යම් යම් තාක්ෂණික හා විද්‍යාත්මක කරුණු සම්බන්ධයෙන් අමාත්‍යාංශයෙන් අංශ ප‍්‍රධානීන් හා නිලධාරීන් වගකීම ඉටු කළ යුතුයි. ඇමතිවරයා තම වගකීම ඉටු කරද්දී නිලධාරීන් ඔවුන්ගේ වගකීම් ඉටුකළහොත් පමණයි සාර්ථකව මේ ගමන යා හැක්කේ. ඒ සඳහාතමයි අපි කවුරුත් වෙහෙසිය යුත්තේ. ඒත් ඉතින් තාක්ෂණ ත‍්‍රස්තවාදය කියන එක අපේ වගේ ආයතන තුළ තදින්ම තිබෙනවා. ඒක තමයි මම දකින ලොකුම බාධාව. ඒ චෝදනාව කරන අතරම ඉතා හොඳින් අවංකව සේවය කරන නිලධාරීන්ට මම ගෞරව කරනවා. එහෙත් ඉතිං සීයකින් අනුපහක් හොඳ වුණාට පහක් නරක නම් සමස්තය කනපිට ගැහෙනවා.

ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය කි‍්‍රයාත්මක කිරීම, ඖෂධ මිල හා ප‍්‍රමිතිය විෂයෙහි කැපී පෙනෙන වෙනසක් ඇති කැරෙන කාරණයක්. මේ සම්බන්ධයෙන් ඔබට ඇති ඉලක්ක කවරාකාරද?

පසුගිය දවස්වලත් බාල බෙහෙත් ගෙන්වීම පිළිබඳ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ලංකාවේ ඖෂධවල ප‍්‍රමිතිය පරීක්ෂා කිරීමේ ජාතික ඖෂධ තත්ත්ව රසායනාගාරය නමැති ආයතනයක් අපිට තිබෙනවා. නමුත් අපි ගෙන්වන සියලූම ඖෂධ පරීක්ෂා කිරීමේ හැකියාවට ඊට නැහැ. තාක්ෂණික මෙවලම් සියල්ල අපිට නැති නිසා නමුත් ඖෂධ ප‍්‍රතිපත්තිය අරභයා එම අධිකාරිය පිහිටුවීමට සමගාමීව දැනට වඩා නව තාක්ෂණයෙන් අනූන උපකරණවලින් යුතු ඖෂධ ප‍්‍රමිති රසායනාගාරයකුත් ඉදිවෙනවා. ඒ තුළ අපිට හැකිවෙනවා. සියලූ ඖෂධවල ප‍්‍රමිතිය පරීක්ෂාකරන්න. ඊළඟට මේ නීතිය ආවම වෛද්‍යවරුන්ට බැහැ වෙළෙඳ නාම පාවිච්චි කරලා වෙළෙඳ නම්වලින් ඖෂධ වට්ටෝරු ලියන්න. විද්‍යාත්මක නාමයෙන් පමණයි ඖෂඛ හඳුන්වන්න වෙන්නේ. අද තිබෙන බරපතළ ප‍්‍රශ්නයක් තමයි එකම ඖෂධය නම් රාශියකින් මිල ගණන් කිහිපයකින් වෙළෙඳපොළේ තිබීම. සමහර වෛද්‍යවරු සමාගම් නම් කරලා බෙහෙත් ලියනවා. එහි යටි අරුත මොකක්ද කියලා ඕනම කෙනකුට තේරෙනවා. එතකොට අපි බෙහෙත් ගෙන්වන්නේ විශේෂඥ මණ්ඩල දෙකක පරික්ෂා කිරීම් හා නිදේශයන්ට යටත්ව. ඊටත් පස්සේ ඒවා ප‍්‍රමිති රසායනාගාරයෙන් පරීක්ෂා කරනවා. අපේ ප‍්‍රමිති රසායනාගාරයේ පරීක්ෂා කළ නොහැකි ඒවා වෙනත් රටකට යවා පරීක්ෂණ වාර්තාව ගෙන්වාගෙන තමයි අපි ඒ ඖෂධය භාවිත කරන්න ගන්නේ. මේ සියලූ අංග පනත තුළ වඩා සැලසුම් සහිතව අන්තර්ගතයි. ඖෂධ අලෙවිය පිළිබඳව පවා නව නීති රීති ඇතිවෙනවා. එනම් වඩා විධිමත් කැරෙනවා. කල්තබා ගැනීම, ප‍්‍රමිතිය, මිල ගණන් ආදී සියල්ලම පිළිබඳව වඩා හොඳ තත්ත්වයක් ඖෂධ ප‍්‍රතිපත්තියෙන් ඇතිවෙනවා. රෝගියාට ප‍්‍රමිතියෙන් නියමිත ඖෂධ නිසි මිලට දීමත්, ජාවාරම්කර ලෝකයෙන් බැහැරව කොහොමද අපි රෝගියකුට අවශ්‍ය නිියම ප‍්‍රතිකාරය කරන්නේ කියන ඉලක්කය වෙත පැවරීම තමයි මේ කි‍්‍රයාවලියේ අපේක්ෂාව.

ඖෂධ ප‍්‍රතිපත්තිියේ නිර්මාතෘ වෛද්‍ය සේනක බිබිලේ මිය යන්නේ 1976 දි . ගතවූ වසර 35 ක පමණ කාලය තුළ ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය කි‍්‍රයාත්මක කිරීමට එරෙහිව නැගුණු බලවේගය මොකක්ද?

අපි මෙහෙම හිතමු. ඖෂධවලට මේ රටේ පාලන මිලක් තිබුණා. පාලන මිල කියන එකත් නැතිකෙරුවේ 2002 දී එජාප ආණ්ඩුව. පාලන මිල ඉවත්කරවා ගැනීමේ වුවමනවා තිබුණේ සමාගම්වලට. එතකොට සමාගම්වල වුවමනාව ඒගොල්ලෝ ඉටු කෙරුවා. එවකට හිටිය වෙළෙද ආමාත්‍යවරයා තමයි ඖෂධවල පාලන මිල ඉවත් කළේ. ඊට පස්සේ ඖෂධ ඕනේ ඕනේ මිල ගණන්වලට විකුණුවා. අසාධ්‍ය රෝගියකුට බෙහෙත් ගන්න එන පුද්ගලයා ඇඳන් ඉන්න රෙද්ද විකුණලා හරි බෙහෙත ගන්නවා. ඉතින් මෙහෙම තත්ත්වයක් ඇති කිරීම අවස්ථාවාදී ගසා කෑමක් නොවෙයිද?. මෙතෙක් කළේ ඖෂධ ප‍්‍රතිපත්තිය කි‍්‍රයාත්මක කිරීමට ඉඩ නොදීමට හරස් වන්නේ දූෂිත ව්‍යාපාරිකයා. ඒ අයට අවශ්‍ය ජාවාරම කරගන්න බැරිවෙනවා රටක ඖෂධ ප‍්‍රතිපත්තියක් කි‍්‍රයාත්මක වුණත්. මැලේසියා, සිංගප්පූරුව, ඉන්දුනීසියාව වගේ රටවල් ඖෂධ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කරලා ඉතාමත් ඉහළ තැනක ඉන්නවා මේ විෂයේදී. ඉන්දියාව වගේ රටක් ගතහොත් ව්‍යාපාරික ක්ෂේත‍්‍රය හරිම දූෂිතයි. එහතේ සෞඛ්‍ය විෂයේදී ඔවුනුත් මේ ජයග‍්‍රහණය ලබාගෙන තිබෙනවා. අපි වගේ පුංචි රටක් මේකට ප‍්‍රමාද වැඩියි. අවුරුදු 40 ක් විතර මේ ගැන අපි කතා කරලා තියෙනවා. ප‍්‍රතිපත්ති හදලා තියෙනවා. එහෙත් කි‍්‍රයාත්මක වෙලා නැහැ. ඒකට තමයි දැන් අතගහලා තියෙන්නේ.

මේ වකවානුවේදි ඖෂධ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කරනවාට එරෙහිව එන බලපෑම් නතරකර ගන්නේ කොහොමද?

බලපෑම් අනිවාර්යයෙන්ම එනවා. ව්‍යාපාරිකයෝ විතරක් නෙවෙයි. නිලධාරීන් බලපෑම් කරනවා. මේ පනත හදන්න නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට අපේ සහාය දිය යුතුයිනේ. එහෙත් අපේ සමහර නිලධාරීන්ට කියලා තිබුණා ඕක අපි කරන්න දෙන්නේ නැහැ කියලා. ඕක කෙරුවොත් අපේ තනතුරුවලින් වැඩක් නැහැ කියලා. විශාල අභියෝගයක් ඒ නිසා බහුතරයකගේ ආශිර්වාදය මීට හිමිවිය යුතුයි. විශේෂයෙන්ම ජනමාධ්‍යවල සහයෝගය මේ වැඬේදි ඉතා වැදගත් වෙනවා. මේ වැඬේ උඹ කොහොම හරි කරපං ආණ්ඩුවක් විධිහට කියන බලපෑම බහුතරයගෙන් එල්ල විය යුතුයි.

හෙද සේවය සඳහා විදේශයන්හි මහාපරිමාණ ඉල්ලූමක් තිබෙනවා. ඒ සඳහා පුහුණු කර ජාත්‍යන්තරව පිළිගන්නා මට්ටමේ සහතිකයක් ලබාදිය හැකි හෙද පුහුණු වැඩසටහන් රජය ආරම්භ නොකරන්නේ ඇයි?

අපේ රටේ රජයේ රෝහල්වල හෙදියන් 28000 ක් සිටිනවා. අද ජනගහනය සහ අද සේවාවන් ගතහොත් සාර්ථක හෙද සේවාවක් ලබාදීමට තව 7000 ක් වත් අවශ්‍යයි. වැඩිවන ජනගහනයට රෝහල්වල තව වාට්ටු ඕනේ. වෛද්‍යවරු ඕන. හෙදියනුත් ඕනේ. පළමු වැනි දේ තමයි අපේ ජාතික අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීම. අතිරික්තයක් තිබෙනවා නම් පමණයි අන්තර්ජාතික දැනුම වෙළෙඳපොළට අපිට හෙදියන් ලබාදිය හැක්කේ. හෙද සේවාවට අපි බඳවා ගැනීම් කරනවා. මාස දෙකකට පෙර 2500 ක් ගත්තා. පුහුණුකිරීම් කරන්න ඕනේ කියන එක මම පිළිගන්නවා. ඒත් අපේ හෙද විදුහල් ගතහොත් පහසුකම් අවමයි. ලොකු පිරිසක් එකවර පුහුණ කරන්න බැහැ. නේවාසික පහසුකම්, උපකරණ යනාදි අංග සම්පූර්ණ නැහැ. හෙද උපාධිය ඉක්මන් කළ යුතුයි. මේ වගේ ප‍්‍රශ්න අප ඉදිරියේ තිබෙනවා.

පෞද්ගලික අංශයට හෙදියන් පුහුණු කළ නොහැකියි. එහෙත් පුද්ගලික අංශයේ හෙද සේවාවන් තිබෙනවා. ඔවුන් මේ කාර්යය කරන විදිය ගැන සොයා බැලිමක් කළාද?

අපේ පෞද්ගලික රෝහල්වල විශාල හෙදියන් ප‍්‍රමාණයක් ඉන්නවා. එහි රාජ්‍ය සේවයෙන් විශ‍්‍රාම ගිය අය ලොකු පිරිසක් ඉන්නවා. ඔවුන් තමයි ජේ්‍යෂ්ඨයෝ. තරුණ ළමයි බහුතරය වැඩ කරමින් පුහුණුවෙනවා. ඒ අයටත් රජයේ ලියාපදිංචි හෙද සහතිකයක් නිකුත් කරන්න කියන ඉල්ලීම තිබෙනවා. අපේ වෘත්තීය සමිති ඉතින් මේකට විරුද්ධයි. ඒ ළමයි අසරණ වෙනවා. ඇත්තටම පෞද්ගලික රෝහල්වලත් හෙද සේවය ඉහළ ප‍්‍රමිතියකින් කෙරෙන්න ඕන. ඒක ඉහළ ප‍්‍රමිතියකින් කරන්න සහාය දෙන එක අපේ රාජ්‍ය ප‍්‍රතිපත්තියක් වෙන්න ඕන. මේ ගැන කුහකකමකින් බැලිය යුතු නැහැ. මොකද මේකෙන් සිදුවන්නේ මහජනතාවට සේවයක්නේ. ලෝකයේ ඕනෑම රටක ප‍්‍රතිපත්තියක් හැටියට පෞද්ගලික රෝහල් පිළිගන්නවා. ඒවා පිළිගන්නවා නම් කාර්ය මණ්ඩල වැඩටත් අපි පූර්ණ සහාය දිය යුතුයි.




Line
Sri Lanka