ravaya
83, පිළියන්දල පාර, මහරගම. දුරකථන: 2851672 / 2851673 කර්තෘ මණ්ඩලය: 2842064 බෙදාහැරීමේ අංශය: 2896330 ෆැක්ස්: 2851814 ඊමේල්: ravaya@gmail.com

අපරාධ හා එල්ලූම්ගස ගැන

දැන් සැලකිය යුතු කාලයක සිට එල්ලූම්ගස ගැන විවිධ මාධ්‍ය වාර්තා පළවනු දක්නට ලැබෙයි. වරෙක, එල්ලූම්ගස ක‍්‍රියාත්මක කරන්නාගේ තනතුරට පත්වීම සඳහා සමාජයේ ඇති අධික ඉල්ලූම ගැන වාර්තා පළවෙයි. වරෙක, එහි මිනිසුන් එල්ලන කඹය ආනයනය කිරීම ගැන වාර්තා පළවෙයි. දැන් අලූතෙන්ම වාර්තා වන්නේ එල්ලූම්ගසේ ලෑලි පුවරු අලූත් ලෑලි යොදා ප‍්‍රතිසංස්කරණය කළ බවට බන්ධනාගාර කොමසාරිස්වරයා මාධ්‍යවලට කළ කරුණු දැක්වීමයි. පසුගිය පෙබරවාරියේ දැයට කිරුළ ප‍්‍රදර්ශනයේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් එල්ලූම්ගසේ ආකෘතියක්ද ප‍්‍රදර්ශනය කළ අතර, එහිදී කරන ලද ජනමත විමසුමකදී මත පළකළ පිරිසෙන් සියයට අසූවක් පමණ එල්ලූම්ගස නැවත ක‍්‍රියාත්මක කළ යුතුයැ යි අදහස්කළ බවද මාධ්‍ය වාර්තා කළේය. බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් දක්වන අධිකතර උනන්දුවෙන් පෙනෙන්නේ කවර මොහොතක හෝ රජය මරණ දඬුවම ...



ජනතාව සැබෑ ප‍්‍රශ්නවලින් විතැන් කිරීම මාධ්‍යයේ වගකීමද?

ආචාර්ය ටියුඩර් වීරසිංහ

විමලනාත් වීරරත්න [Sunday, August 12, 2012]

ලංකාවේ ජනමාධ්‍ය මහජනතාවට අදාළ ඇත්ත ප‍්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරනවාද?

ජනමාධ්‍ය කියන එක නූතන ආයතනයක් ලෙස හැඳින්විය හැකි එකක්. සංහතික මාධ්‍ය කියන එක සමාජ ව්‍යාපාරයක් විදියටත්, යථාර්ථය නිරූපණය කරන මාධ්‍යයක් හැටියටත් වර්ධනය වෙනවා. යුරෝපීය දෘෂ්ටි කෝණයෙන් බලන විට ඒ යුගයේ සමාජයේ ආධිපත්‍ය දරපු ධනේශ්වර පන්තියේ මූලික වුවමනාවන්, අභිලාෂයන් මාධ්‍ය තුළින් තෘප්ත වුණා. ඒ නිසා මේක ධනේශ්වර පරිණාමයත් එක්කයි විකාශනය වුණේ. එමෙන්ම පොදු ජාතික මතවාදයක් උත්කර්ෂණය කරමින් එහි ප‍්‍රගමනයටත් උර දුන්න ආයතනයක් ලෙසයි ජනමාධ්‍ය හඳුන්වන්න වෙන්නෙ. ඊළඟට ජනමාධ්‍යයට සමාජ ජීවිතයෙන් වෙන් කරන්න බැරි සම්බන්ධයක් තිබෙනවා.

ලංකාව දෙස බැලූවොත් ජනමාධ්‍ය කියන එක පිටින් ගෙනත් ආදේශ කරපු තත්ත්වයක් තියෙන්නෙ. බද්ධතාව අඩුයි. සමකාලීන මාධ්‍ය භාවිතය තුළිනුත්, න්‍යාය හා ව්‍යවහාරය තුළිනුත් ග‍්‍රාහක පොදුජන විඥානය තුළිනුත් ඒක පිළිබිඹු වෙනවා. ඔබ අසන ප‍්‍රශ්නයට අනුව ජනමාධ්‍ය ලංකාවෙ යථාර්ථය ප‍්‍රතීයමාන කරනවද කියන එක ගැටලූවක්. එදිනෙදා සමහර දේවල් ගැන ආසන්න නිරූපණයක් කළත් සමාජයේ ප‍්‍රගමනයට හා එහි නවීනාකර තත්ත්වයන්ට ඉවහල් වන ආකාරයේ මැදිහත්වීමක් ජනමාධ්‍ය කරන්නේ නැහැ. ඒ වෙනුවට වඩාත් විඥානයක් හා ව්‍යාජ මානසිකත්වයක් සමාජගත කරන බවයි පෙනෙන්නෙ.

අපි නිදසුනකට ගියහොත් රනිල්, ගාමිණී දිසානායක පරදවන්න ඔත්තු දුන් බවට මෙත‍්‍රීපාල මහතා කළ ප‍්‍රකාශයක් මේ දිනවල මාධ්‍ය තුළින් උලූප්පා දක්වනවා. මේක මහජනයාට කිසිදු සම්බන්ධයක් නැති කාරණයක්. එබඳු අර්ථශූන්‍ය දේවල් පසුපස ජනමාධ්‍ය දුවන්නේ ඇයි?

ජනමාධ්‍ය සමාජයක බහුවිධ කාර්යයන් ඉෂ්ට කරන සංකීර්ණ හා ගතික පද්ධතියක් ලෙස හැඳින්විය හැකියි. ජනමාධ්‍ය යථාර්ථය ඉදිරිපත් කිරීමේ මාදිලියක් වන අතරම ඒ වෙලාවෙම යථාර්ථය විකෘති කිරීමේ හා රාජ්‍යයේ හා එහි බලය දරන පන්තිවල මතවාදය සමාජගත කිරීමේ යාන්ත‍්‍රණයක් විදියටත් ක‍්‍රියාත්මක වෙනවා. එතනදි තමයි ජනමාධ්‍ය සමාජයේ තිබෙන යථාර්ථයන් විකෘති කිරීමට පෙළඹෙන්නෙ. ඇත්ත ප‍්‍රශ්න මගහැර ගොස් පොදු ජන අවධානය පිණිස අවශේෂ සිදුවීම් ගේනවා. ඔබ ගත් නිදසුන මේ මොහොතෙදි රටේ ජනතාවට කිසිම අදාළත්වයක් නැහැ. ඒ සිද්ධිය ඇත්ත වුණත්, බොරු වුණත් ජනයාට අදාළ නැහැ. මෛත‍්‍රීපාල මහතා ඒක කිව්වෙ මේ මොහොතෙදි ජනමතයට බලපෑමක් කරන්න වෙන්න ඇති. එහි දේශපාලන වුවමනාව විපක්ෂය අධෛර්යමත් කිරීමයි. පාවාදීම කියන මානසිකත්වය පොදු ජන මතයක් හැටියට ගොඩනැගීම, විපක්ෂයේ අසමත්කම සමාජගත කිරීම වැනි අරමුණු එහි තිබෙනවා. එය තනිකරම දේශපාලන බලඅරගලයේ ප‍්‍රකාශනයක්. ජනමාධ්‍ය මෙතනදි ඉදිරිපත් වෙලා ඉන්නවා ආණ්ඩු පක්ෂයේ සතුරන් මෙල්ල කිරීමේ ක‍්‍රියාවලියට. බලය පවත්වාගෙන යෑමට ජනමාධ්‍ය යොදාගැනීමත් එමෙන්ම විරුද්ධ පක්ෂය බලයට ඒම වැළැක්වීම සඳහාත් ජනමාධ්‍ය භාවිත කිරීමේ එක් උදාහරණයක් ලෙස මේක හඳුන්වන්න පුළුවන්. සමාජයේ තිබෙන බහුවිධ බවයි ජනමාධ්‍ය තුළින් ප‍්‍රකාශ වියයුත්තේ. ඒ සඳහා නැමියාවකුත් සමාජය තුළ තිබෙනවා. එහෙත් අඩු වැඩි වශයෙන් මේ වනවිට රාජ්‍ය මෙහෙයවන ආණ්ඩු පක්ෂය විසින් ජනමාධ්‍යයේ ශීඝ‍්‍රතාව පාලනය කර තිබෙනවා. ස්වයං වාරණය, අනියම් තර්ජන, ආර්ථික බාධක පැනවීම වගේ සියලූ දේවල් එතනදි පනවන්න පුළුවන්.

එහෙත් ජනමාධ්‍යයටත් වගකීමක් තිබෙනවා සිය කැමැත්තෙන් වළට නොපැනීමට. කාලෝ ෆොන්සේකා මිථ්‍යා මත කෙරෙහි අභියෝග කිරීම ජාතික පුවත්පතක මුල් ප‍්‍රවෘත්තිය බවට පත්වෙනවා. එය කාගේවත් බලකිරීමක් නෙවෙයි. මේක ඔබ තේරුම් ගන්නෙ කොහොමද?

අපේ සමාජයේ 99%ක්ම මිථ්‍යා දෘෂ්ටිකයො ඉන්නෙ. මිථ්‍යා දෘෂ්ටික සමාජයක් කියලා ලංකාව හැඳින්වූවාට කිසිම වරදක් නැහැ. සංස්කෘතික දේශපාලන හා අධ්‍යාත්මික වශයෙන් මේ තත්ත්වය අත්දැකිය හැකියි. කාලෝ වගේ කෙනෙක් කරන ඒ වැඩෙන් මිථ්‍යා දෘෂ්ටික සමාජය තුළ ක්ෂණික අවධිවීමක් සිදුවනවා වෙන්න පුළුවන්. මෙතනදි වෙන්නෙ මිථ්‍යාවට එරෙහිවීමද කියන ප‍්‍රශ්නය ආපසු පැන නගිනවා. මොකද මේ අදහස මාධ්‍ය විසින් යම්කිසි විදියකට භාවිත කළා. මේ මොහොත වනවිට සමාජයේ තිබෙන දැවෙන මහජන ප‍්‍රශ්න කෙරෙහි වන අවධානය වෙනතකට යොමු කිරීමට. ඊට පස්සෙ මිථ්‍යාවට එරෙහිවීම හරහා ව්‍යාජ විඥානයක් ඇතිවීමයි සිදුවී තිබෙන්නෙ. ඒක ප‍්‍රවෘත්තියක් නෙවෙයි. මතවාදී මෙහෙයුමක්නෙ. සමාජය හැසිරවීමට තමයි එහෙම එකක් භාවිත කරන්නෙ. බැලූ බැල්මට කාටහරි කියන්න පුළුවන් මේක මිථ්‍යා දෘෂ්ටිකත්වයට එරෙහිවීමක් කියලා. ඒත් මේ තියන සංදර්ශනය සමග බලන විට එහි ලොකු අවුලක් තිබෙනවා. එතකොට මේක වැඩ කරන්නෙ ප‍්‍රතිගාමී අදහසක් හැටියට. කොවුර් ඇතුළු පිරිස මේ අදහස ඉදිරිපත් කරන කාලෙ එමගින් සමාජයට සේවයක් වුණා. අද සිය දහසක් ප‍්‍රශ්න තිබියදී ඒ වෙනුවෙන් ජනමතයක් සෙමින් නිර්මාණයවෙමින් තිබියදී ඒක බිඳ වැටීමේ හා වෙනතකට යොමු කිරීමේ මතවාදී මෙහෙයුමක් ලෙසයි මෙය සලකන්න වෙන්නෙ.

ඇතැම් ජනමාධ්‍ය ඍජුව අසභ්‍ය නොවුණත් අර්ධ වශයෙන් අවර ගණයේ රසයක් ලබාදීමට යත්න දරන බව පෙනෙනවා. මේ ගැන ඔබේ අදහස මොකක්ද?

සමස්තයක් ලෙස ගත්තාම මාධ්‍ය ක‍්‍රියාත්මකවෙන්නෙ වෙළෙඳපොළක් තුළ. පුවත්පත් සිය ගණනක් තිබෙනවා. විද්‍යුත් මාධ්‍ය, නව මාධ්‍ය තිබෙනවා. ප‍්‍රමාණාත්මකව සමාජයක් තුළ ඕනෑම දෙයක් වැඩිවන විට ඒවා අතර තරගයක් ඇතිවෙනවා. මාධ්‍ය අතර තරගයක් ඇතිවීමත් එක්ක පොදු ආචාර ධර්ම පහත වැටෙනවා. අනෙක් අතට මේ තරගය ඇතිවෙන්නෙ වෙළෙඳපොළ කොන්දේසි යටතේ. තමන් පළ කරන දේවල් පිළිබඳ ප‍්‍රවෘත්තිමය හෝ චින්තනමය වටිනාකමකින් බලනවාට වඩා පළකරන දේ පිළිබඳ වෙළෙඳපොළ භාණ්ඩයක් දෙස බලන දෘෂ්ටියකින් බලන්න ගන්නෙ ඒ අනුවයි. ලිංගිකත්වය, යුදකාමිත්වය, මිථ්‍යා මත එන්නෙ ඒ විදියටයි. මිනිස්සු තුළ අවිඥානිකව ගොඩනැගිල තියන දේවල් ස්පර්ශ කිරීමෙන් ඒවා උත්තේජනයට ලක් කරන තොරතුරු ජනමාධ්‍ය පළකරන්න උත්සාහ කරනවා. මෙතන වාණිජ වුවමනාවක් වගේම දේශපාලන වුවමනාවක් තිබෙනවා. නිදසුනක් ලෙස ලිංගිකත්වයට මහජනයා යොමු කර ඔවුන් මුහුණ දෙන සමාජ, ආර්ථික හා දේශපාලනික ඇත්ත ප‍්‍රශ්නවල අවධානය මගහරවනවා. එවිට ඉතා සරල පරාසයක තමයි ඔහු සැරිසරන්නෙ. අශ්ලීල තත්ත්වයක් ඔස්සේ ආමන්ත‍්‍රණය කරන්නෙ එතනට. රාජ්‍යයේ දෘෂ්ටිවාදයට අනුව සමාජ සිදුවීම් මිනිසුන් තුළ අර්ථකථනය කරවීමේ ක‍්‍රියාවලියයි සිදුවන්නේ.

එතකොට ජනතාව තමන්ගේ ප‍්‍රශ්න ගැන උනන්දු නැද්ද? තමන්ගේ ප‍්‍රශ්න ගැන ලිව්වට ඔවුන් පත්තර මිලදී ගන්නෙ නැද්ද?

ඒක නූතන මාධ්‍යකරණය තුළ ඇති සංකීර්ණ ප‍්‍රශ්නයක්. මෙතනත් ඉල්ලූම සැපයුම කියන ආර්ථික නියමය තමයි ක‍්‍රියාත්මක වෙන්නෙ. මිනිස්සු තුළ ස්වභාවයෙන්ම තියෙන්නෙ තරමක් උකටලී මානසික ගතිගුණ. මිථ්‍යා මත, ලිංගිකත්වය, නක්ෂත‍්‍රය වගේ දේවල් ගැන මිනිස්සුන්ගේ කැමැත්තක් තියෙනවා. ඒ අතරම ඔවුන් ආර්ථික, සමාජ, සංස්කෘතික, අධ්‍යාපනික, ප‍්‍රවාහන වාසස්ථාන ආදී ප‍්‍රශ්න රැුසක සිරවෙලා ඉන්නවා. මේවා පිළිබඳව මාධ්‍ය තොරතුරු පළකරන විට ඒ ගැනත් ජනයාගේ අවධානය යොමුවෙනවා. ප‍්‍රශ්නය වන්නේ අධිපති පාලන පන්තිය තුළින් මෙහෙයවන මාධ්‍ය තුළ ඒවාට ඉඩක් නැතිකමයි. එතකොට සැබෑ ප‍්‍රශ්න ගැන සාකච්ඡුා කරනවාට වඩා සැබෑ ප‍්‍රශ්නවලින් විතැන් කිරීමේ තොරතුරු තමයි මාධ්‍ය මගින් විශාල ලෙස සමාජයට සංසරණය වන්නේ. එනම් සමාජයේ අධිපතිවාදී මාධ්‍ය තුළින් සමාජගත කරන තොරතුරු තමයි සැබෑ තොරතුරු බවට පත්වෙන්නෙ. ඒ අතරම මිනිස්සු සැබෑ ප‍්‍රශ්න ගණනාවකින් පෙළෙනවා. එසේ පෙළුණැ යි කියලා මිනිස්සු තුළ ඒ ප‍්‍රශ්න සම්බන්ධයෙන් මතවාදයක් ගොඩනැගෙන්නෙ නැහැ. ජනමතය කෘත‍්‍රිමව ඇති කළ නොහැකි, ස්වාභාවිකව ගොඩනැගෙන්න ඕන දෙයක්. ඒ සඳහා මාධ්‍ය මැදිහත් වෙන්න ඕන. අධිපතිවාදී ධාරාවේ මාධ්‍යයට ඒ සඳහා වුවමනාවක් නැහැ. විකල්ප මාධ්‍ය මීට යම්කිසි විදියකට ඇතුල්වෙලා ඉන්නවා. එහෙත් ඒක අධිපතිවාදී මාධ්‍ය භාවිතය සමග බලන විට මේක ඉතාම ක්ෂුද්‍රයි, ප‍්‍රමාණය, බලපෑම හා ක‍්‍රියාකාරීත්වය පැත්තෙන්. අපි නිදසුනක් ලෙස යුද්ධයෙන් පසු අවදිය ගනිමු. යුද්ධය අවසන් වෙලා වසර 03යි. දේශපාලන විසඳුම, නැවත පදිංචි කිරීම, යුද්ධයෙන් හානිවූ අය ගැන බැලීම ඉතාම සංකීර්ණ ප‍්‍රශ්නයක්. ජාත්‍යන්තර අවධානයත් ඒ කෙරෙහි යොමුවෙලා තිබෙනවා. ඉක්මනින් විසඳිය යුතු ප‍්‍රශ්නයක් මේක. පශ්චාත් යුද ලාංකික සමාජයේ දේශපාලනික විසඳුමකට යෑම සඳහා අවශ්‍ය කරන රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ සම්බන්ධ ගැටලූව මාධ්‍ය මගින් කරළියට ගේන්න ඕන. එහෙත් අධිපති මාධ්‍ය මේ ගැන කතා කරන්නෙම නැහැ. රාජ්‍යය මෙහෙයවන පිරිස් සමග සමපාත වෙලා ඉන්න මාධ්‍යයට ඒ වුවමනාව දැනෙන්නෙ නැහැ. මොකද රාජ්‍ය මෙහෙයවන පිරිස්වල වුවමනාව එය නොවන නිසා. ඒක මගහැර ඒ වෙනුවට සංවර්ධනය, අධිවේගී මාවත් ගොඩනැගීම, අපරාධ, අපචාර වගේ දේවල් තමයි අධිපති මාධ්‍යයේ ප‍්‍රධාන අංග බවට පත්වෙලා තිබෙන්නෙ. ආණ්ඩුවට අපරාධ හා අපචාර ගැන ලොකු ප‍්‍රචාරයක් ගෙනිච්චට තත්ත්වයේ වෙනසක් නැහැනෙ. සිදුවීම්වල රටාව හා ව්‍යුහයන් එහෙමම තියෙනවා. සිදුවීම් වෙනවා. ආපසු වාර්තා කරනවා. ජනවිඥානයත් ඒ අනුව හැඩ ගැසෙනවා. ඒ කියන්නෙ, ගොඩනැගිලා තියෙන්නෙ ව්‍යාජ විඥානයක්. සමාජ, ආර්ථික, සංස්කෘතික, දේශපාලනික ප‍්‍රශ්න කේන්ද්‍ර කරගත් මාධ්‍ය භාවිතයක් නැති නිසා ඒක තව වර්ධනය වෙනවා. මිනිස්සු පීඩාව සමනය කරගැනීමටත් අන්තිමට අර්ථ ශූන්‍ය දේවල් කෙරෙහි නැඹුරු වෙනවා.

ජනාධිපතිවරයා හා ජනමාධ්‍ය ප‍්‍රධානීන් මාසිකව හමුවනවා. එහෙත් දෙපාර්ශ්වයම ඒක වැදගත් සාකච්ඡාවක් බවට පත් කරගන්නෙ නැහැ. සියලූදෙනාම එකවර මේ තරම් නොසැලකිලිමත් වන්නේ කවර කාරණයක් නිසා කියලද ඔබ හිතන්නේ?

පශ්චාත් යුද තත්ත්වයට ආවට පස්සෙ ලංකාව තුළ දැන් කලින් තිබුණු සමාජ යථාර්ථය නැහැ. පෙර සමාජ යථාර්ථය නිර්මාණය කිරීමේ ප‍්‍රධාන බලවේගය බවට පත්වෙලා තිබුණු එල්ටීටීඊය නැහැ. දැන් එතකොට අධිපතිවාදී මතවාදයක් තිබෙනවා. අධිපති වාදයක් නිරුපද්‍රිතව පවතින්න විදියක් නැහැ. ඒකට යම් සතුරෙක් සිටිනවා නම්. එල්ටීටීඊය හානිවීමත් සමග යටත්විජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක ඉඳලා අපි ගමන් කළා පශ්චාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයකට. දැන් එතකොට ඇත්ත වශයෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් පවතින්න පක්ෂ දෙකක්වත් තිබිය යුතුයිනෙ. පශ්චාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක තිබෙන මූලික ලක්ෂණයක් තමයි හෙජමොනික තත්ත්වයක් පැවතීම. හෙජමොනික තත්ත්වය පවත්වාගෙන යන්න මේක සංස්කෘතික හා ආගමික මූලයන් සමග බැඳුණු ජාතික මතවාදයක් අවශ්‍යයි. අපිට ඒ සඳහා සිංහල බෞද්ධ මතවාදය තිබෙනවා. ඒ මතවාදය අද සිනමාවෙන් ප‍්‍රවෘත්තිවලින් සමාජ ගතවෙනවා. මේ තත්ත්වය තුළ අපි කලින් කතා කරපු ජනයාගේ ඇත්ත ප‍්‍රශ්න අහෝසි වෙන්නෙ නැහැ. තව වැඩිවෙනවා මිසක්. එතකොට මාධ්‍ය වේවා යම් පමණකට පෙර ප‍්‍රකාශ කරන්න පටන් ගන්නවා. එතකොට තවදුරටත් අධිපතිවාදී මතවාදයට පවතින්න විදියක් නැතුව යනවා. මන්ද කලින් සිටි සතුරා දැන් නැහැ. පවතින්න සතුරා අවශ්‍යයි. දැන් තියන විකල්පය තමයි පූර්ණ අධිපතිවාදයකට නොයා ප‍්‍රජාතන්ත‍්‍රවාදී යුගයේ තිබුණු මාධ්‍ය ආයතන නැවත ප‍්‍රතිසංවිධානය කිරීම. ඒකෙ එක ක‍්‍රමයක් විදියට තමයි මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් කැඳවා පශ්චාත් ප‍්‍රජාතාන්ත‍්‍රික රාමුවට සහ ඒ පරිසරයට ගැළපෙන ආකාරයට සිදුවීම්, ප‍්‍රපංචයන් වාර්තා කිරීම සඳහා යම්කිසි ආකාරයක වක‍්‍රීය නැමියාවක් ඇති කරනවා මේ පිරිස අතර මෙසේ ඇතිවන සම්බන්ධය සමග රටේ ප‍්‍රධානියාගේ වචනවලට පිටු නොපාන තත්ත්වයක් මාධ්‍ය හසුරුවන්නන් තුළ ඇතිවෙනවා. එතකොට රාජ්‍ය මතවාදයට ගැළපෙන ආකාරයට තමයි සිද්ධීන් මාධ්‍ය තුළ අර්ථකථනය වන්නේ. එතකොට මෙය රාජ්‍ය මතවාදය පැත්තෙන් වැදගත් සාකච්ඡුාවක් බවට පත්වෙනවා. සියලූම මාධ්‍ය ඉදිරිපත් කරන මතවාද සාපේක්ෂව සමානවීමෙන් මේ බව පැහැදිලි වෙලා තියෙනවා.




Line
Sri Lanka