ravaya
83, පිළියන්දල පාර, මහරගම. දුරකථන: 2851672 / 2851673 කර්තෘ මණ්ඩලය: 2842064 බෙදාහැරීමේ අංශය: 2896330 ෆැක්ස්: 2851814 ඊමේල්: ravaya@gmail.com

දර්ශනයක් නැති ආණ්ඩුවක්

රට තිබෙන්නේ ප‍්‍රශ්න රාශියක ගිලීසිටිමින් සාජ්ජ දමන තත්ත්වයකය.

ආණ්ඩුව මොනවා කිව්වත් මේ වන විට මාසයක් තිස්සේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය මුළුමනින්ම පාහේ අක‍්‍රිය වී තිබේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැඩවර්ජනය අරඹන්නට සූදානම්ව සිටියදී ජනාධිපති ලේකම් සමග සාකච්ඡාවක් අරඹා වර්ජනය කල්දමාගන්නට ආණ්ඩුව උත්සාහ කළේය. ප‍්‍රශ්නය විසඳීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත්කිරීමේ යෝජනාවක්ද එහිදී ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ඉදිරිපත්වූයේය. මේ විසඳුම් දෙකම නොපිළිගෙන ආචාර්යවරුන් වැඩවර්ජනයට යෑම ගැන ආණ්ඩුවේ හිත රිදී තිබෙන බව පෙනෙන්නට තිබේ. සාකච්ඡා පැවැත්වීම වැඩවර්ජනය කරන අතරම කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරු තීරණය කළහ. එය නිවැරදි තීරණයකි. ආණ්ඩුවේ යෝජනා විශ්වාස කළ නොහැක්කේ, ආණ්ඩුවම සිය විශ්වාසවන්තභාවය බිඳගෙන ඇති හෙයිනි. මීට අවුරුද්දකට පෙර සිටම, උසස් අධ්‍යාපන ඇ...



අපට කළහැක්කේ කුමක්ද?

වික්ටර් අයිවන් [Sunday, August 5, 2012]

වර්තමාන ශ‍්‍රී ලංකා සමාජය ආධ්‍යාත්මික වශයෙන් මජරගලන තරමටම කුණුවූ තත්ත්වයකට පත්ව ඇතැ යි කිව හැකිය. එය වසන් කළ නොහැකි පැහැදිලිව පෙනෙන්නට තිබෙන තත්ත්වයක් ලෙසද සැලකිය හැකිය. ඒ තත්ත්වයෙන් ශ‍්‍රී ලංකා සමාජය මුදාගැනීමට පන්සල්වලට, පල්ලිවලට හෝ කෝවිල්වලට හැකිවූයේ නැත. ධනවාදී සමාජවාදී හෝ විවිධාකාර විමුක්තිවාදී දේශපාලන ව්‍යාපාරවලට හැකිවූයේද නැත. ආගම හා දේශපාලනය ප‍්‍රශ්නයේම කොටස්කරුවන් දෙදෙනකු ලෙස ක‍්‍රියා කර තිබෙනවා මිස ඒවාට ගැලවුම්කාර භූමිකාවක් ඉටුකිරීමට හැකිවූයේ නැත. අසාර්ථකභාවය එක තැනකට හෝ එක දෙයකට සීමා නොවී එය හැම දෙයකටම හා හැම තැනටම පොදු සර්වව්‍යාපි දෙයක් බවට පත්වී ඇතැ යි කිව හැකිය.

සමාජ අධ්‍යාත්මය කුණුවීම

ප‍්‍රචණ්ඩ ගැටුම් සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබූ පසුගිය වසර තිහක් පමණ කාලය තුළ සමහර ගැටුම් හටගත්තේ වර්ග අතර නොව වර්ග තුළය. තවත් සමහර ගැටුම් ඇතිවූයේ වර්ග අතරය. අවසාන විග‍්‍රහයේදී ඒ ගැටුම් කෙරෙහි වර්ගය, කුලය, ආගම, භාෂාව, සංස්කෘතිය හා දේශපාලනය යන සාධකයන් එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් බලපා ඇතැ යි කිව හැකිය. විවිධ පාර්ශ්වයන් අතින් ඝාතනයට ලක්වූවන්ගේ සංඛ්‍යාව ඉතා විශාල වුවත් ඊට අදාළ හරි සංඛ්‍යාව කුමක්ද කියා අපි නොදනිමු. ඒ ගණන ලක්ෂයකට වැඩි මිස අඩු නැත. එසේ මියගිය අය කුමන වර්ගවලට, කුමන කුලවලට හා කුමන ආගම්වලට අයත්වීද යන්නද අපි නොදනිමු.

මෙම ගැටුම් නිසා අඹුවන් කිසියම් පිරිසකට සැමියන් අහිමි විය. දෙමාපියන් කිසියම් පිරිසකට දරුවන් අහිමි විය. පියා හෝ මව හෝ අහිමි වූ දරුවන්ගේ ප‍්‍රමාණයද විශාලය. පුද්ගලයෝ තනි තනිව සේ ම සමූහ වශයෙන්ද ඝාතනයට ලක්වූහ. සමහරෙක් ඝාතනයට ලක්වූවෝ මරණයකදී හිමිවිය යුතු ගෞරවයද අහිමි කැරෙන ආකාරයටය. මියගියවුන් අතර සිංහලයෝද දමිළයෝද මහමදිකයන් සේ ම බෞද්ධයෝ, හින්දුහු හා මුස්ලිම්හුද වූහ. මෙම ගැටුම් නිසා මිය නොගිය එහෙත් තුවාල ලැබූ විශාල පිරිසක්ද සිටින්නේය. ඔවුන්ගේ සංඛ්‍යාව මියගියවුන් සංඛ්‍යාව මෙන් තුන් හතර ගුණයක් විය හැකිය. ඔවුහු ඒ ගැටුම්වල නෂ්ඨාවශේෂයන් ලෙස අප අතර ජීවත් වන්නෝය. මේ කාලයේ ඇතිවී තිබෙන සිද්ධීන් සංඛ්‍යාව ඉතා විශාල වුවද ඒ ගැනද නිසි ගණන් බැලීමක් සිදුවී නැත. ඝාතනවල හා පහරදීම්වල පිළිවෙළද එක සමාන නොවීය. විටෙක සිංහලයන් විසින් සිංහලයන්ද දමිළයන් විසින් දමිළයන්ද ඝාතනය කරන ලද අතර තවත් විටෙක එක වර්ගයක් තවත් වර්ගයක් ඝාතනය කළේය.

මෙම ඛේදජනක සිද්ධීන්ගෙන් මරණයට පත් නොවී තුවාල නොලබා ජීවත් වන්නන්ටද ජීවත් වන්නට සිදුවී තිබුණේ සිදුවූ ඒ සියලූ සාහසික ක‍්‍රියා දකිමින් හා අසමින්ය. ජීවත් වන්නට සිදුවී ඇත්තේ මළමිනී අතර මළ විලාප අසමිනි. එක පිරිසක් කායික වශයෙන් මියයන විට අනෙක් පිරිස ආධ්‍යාත්මික වශයෙන් මියයමින් සිටියෝය.

අවි ආයුධ සංසරණය විශාල ලෙස ඉහළ ගිය අතර ආයුධ පරිහරණය කරන්නන්ගේ සංඛ්‍යාවද ශීඝ‍්‍ර ලෙස ඉහළ ගියේය. කැරලිකරුවන් සේ ම නිල ආරක්ෂක හමුදාද ඒ ආයුධ පාවිච්චි කළේ මිනිසුන් බියගන්වා අවනත කරගන්නට හා අවනත නොවන්නන් මරා දමන්නටය. වසර 30ක් තරම් කාලයක් සමාජයට රජයේ නිල හමුදා හෝ කැරලිකරුවන් දෙනු ලබන අණ ප‍්‍රශ්න කිරීමකින් තොරව පිළිපදින්නට සිදුවී තිබුණේය. ඒ නිසා නිදහස් චින්තනයේ උල්පත් හිඳීයමින් තිබුණේය.

කැරලිකරුවන්ට සේ ම රාජ්‍යයටද මෙම අර්බුදයේදී දරුණු අපරාධකරුවන් තමන්ට සහාය දෙන ක‍්‍රියාකාරී බලවේගයක් බවට පත්කර ගැනීමට සිදුවී තිබුණි. ඔවුන්ට ආයුධ පරිහරණය පිළිබඳව පුහුණුවක් ලබාදෙන අතර ඔවුන් වෙත නවීන ආයුධ ලබාදෙන ප‍්‍රතිපත්තියක්ද ක‍්‍රියාත්මක විය. නිල හමුදා හා විප්ලවකාරී හමුදාවලින් පැනයන විශාල පිරිසෙන් කිසියම් පංගුවක් අපරාධ ලෝකයට එකතුවීම නිසා එය නවීන අවි ආයුධ හා නවීන අපරාධ ක‍්‍රම පාවිච්චි කරන අපරාධ ලෝකයක් බවට පත්වීය. අපරාධකරුවන් දේශපාලකයන්ට ජිවිත ආරක්ෂාව ලබාදෙන විට දේශපාලකයෝ අපරාධකරුවන්ට දේශපාලන රැකවරණය ලබා දුන්නෝය. අපරාධකරුවන් දේශපාලකයන්ට ජීවිත ආරක්ෂාව ලබාදෙන අතර දේශපාලකයන් විසින් අපරාධකරුවන්ට දෙනු ලැබූ දේශපාලන රැකවරණය යටතේ අපරාධකරුවෝ තමන්ට පුරුදු බිහිසුණු අපරාධවල යෙදුණෝය. අපරාධකරුවන් හා දේශපාලකයන් අතර කල්ලි ගැසීමක් ඇති බව දැනගත් විට පොලීසියද එම අපරාධකරුවන්ට ආධාර කළේය. නැතිනම් ඔවුන් කරන අපරාධ ඉදිරියේ අහක බලාගෙන සිටින ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේය. අපරාධකරුවෝද නීතියෙන් ලැබෙන දඬුවම් ගැන බියක් ඇතිකර ගැනීමෙන් තොරව තමන්ට සුපුරුදු අපරාධවල යෙදුණෝය. මිනීමැරුවෝය. මංකොල්ලකෑවෝය. කප්පම් ලබාගත්තෝය. මත්ද්‍රව්‍ය වෙළෙඳාම් කළෝය. ස්ත‍්‍රීන් දූෂණය කළෝය. මෙම තත්ත්වය රටේ අපරාධ වර්ධනයේ ශීඝ‍්‍ර වර්ධනයක් ඇති කළා පමණක් නොව එම බිහිසුණු හා අපරාධකාරී වටාපිටාව තුළ ජීවත් වූ සමාජයේ අධ්‍යාත්මය කෙරෙහිද විනාශකාරී ලෙස බලපෑවේය. විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය මෙම සිදුවීම් රටට වාර්තා කළේද සමාජ අධ්‍යාත්මයේ ඇතිවී තිබුණු රෝගී තත්ත්වය මර්දනය කිරීමට හේතුවන ආකාරයට නොව වර්ධනය කිරීමට හේතුවන ආකාරයටය.

අපරාධකරණය

සමාජ අපරාධකරණය නමැති ක‍්‍රියාවලියේ කොතරම් විශාල වර්ධනයක් ඇතිවී තිබේද කියතොත් මීට පෙර අන් ලිපියකද සඳහන් කර ඇති පරිදි මිනීමැරුම්, මංකොල්ලකෑම්, ගෙවල් බිඳීම්, හෝ ස්ත‍්‍රී දූෂණ වැනි අපරාධ වරදකට එක වරක් හෝ වැරදිකරුවන් වී සිටින අයගේ සංඛ්‍යාව (අවුරුදු 70ට වඩා අඩු ජීවතුන් අතර සිටින) 500,000කටත් තරමක් වැඩි බවට වාර්තා වී තිබේ. ඒ සංඛ්‍යාව රටේ වැඩිහිටි ජනගහනයෙන් 9.15%කි. එයින් අපට දැනගන්නට ලැබෙන්නේ චිත‍්‍රයේ එක පැත්තක් පමණය. රටේ කිසියම් දීර්ඝ කාලයක් තිස්සේ නීතියේ පාලනයේ විශාල බිඳ වැටීමක් පවතී. අපරාධ වැරදිවලට නඩු පවරන අයගෙන් වැරදිකරුවන් වන්නේ 4%ක් පමණය. යහපත් තත්ත්වයක් ලෙස සැලකිය හැක්කේ එවැනි නඩු පැවරීම්වලින් 75%කටවත් වැඩි ප‍්‍රමාණයක් වරදකරුවන් වේ නම් පමණය. අපරාධකරුවන්ට ලැබී තිබෙන දේශපාලන ආරක්ෂාව, නීතියේ පාලනය බිඳ වැටීම වැනි හේතු නිසා සමහර අපරාධකරුවන්ට අත්අඩංගුවට පත්වීමකින් තොරව දිගින් දිගට අපරාධ වැරදිවල නිරතවීමේ හැකියාව ලැබී තිබෙන්නේය. ජූලම්පිටිය අමරෙට වරෙන්තු සිය ගණනක් තිබුණේය. ඝාතනයට ලක්වූ වම්බොට්ටාටද වරෙන්තු විශාල ගණනක් තිබුණේය. කලක් රටේ ලොකුම අපරාධකරුවාගේ තත්ත්වය හිමිකරගෙන සිටි ධම්මික පෙරේරා බිහිසුණු අපරාධ සිය ගණනක් කර තිබුණේය. බැද්දගානෙ සංජීව, සොත්ති උපාලි, ගෝනවල සුනිල් වැනි අයද මෙම ලැයිස්තුවට එකතු කළ හැකිය. මෙසේ එකවරක් හෝ වැරදිකරුවන් නොවී අපරාධවල යෙදී සිටින අපරාධකරුවන්ගේ සංඛ්‍යාවද ඉහත දක්වන ලද සංඛ්‍යාවට එකතු කළ විට ලැබෙන චිත‍්‍රය ඉතාමත් නරකය.

කිසියම් දීර්ඝ කාලයක් තිස්සේ ඇතිවී වර්ධනය වෙමින් තිබුණු අවලස්සන සමාජ දේශපාලන වටාපිටාව තුළ පූජනීය ස්ථානවල අරක්ගෙන සිටි දෙවි දේවතාවෝද ඒ ස්ථාන අතහැර පලා ගියෝය. ඉන්පසු එම පූජනීය ස්ථානවලට අරක්ගත්තෝ දේව සළුපිළි හැඳ පැළඳගත් යක්ෂයෝය. ඉන්පසු ඒ ස්ථානවලට යන සමාජය වන්දනා මාන කළේ සැබෑ දෙවි දේවතාවුන්ට නොව දේව වෙස්ගෙන සිටින යක්ෂයන්ටය. මෙම තත්ත්වය සමාජ අධ්‍යාත්මයේ ඇතිවී තිබුණු කුණුවීම තවදුරටත් වර්ධනය කිරීමට හේතුවිය.

සමාජ අධ්‍යාත්මයේ ඇතිවී තිබුණු මෙම කුණුවීම හැම දෙයකටමත් හැම පුද්ගලයකුටමත් බලපෑවේය. එය ආගම හා දේශපාලනය කෙරෙහි පමණක් නොව කලාව, සාහිත්‍යය හා සංස්කෘතිය කෙරෙහිද බලපෑවේය. දේශපාලකයන්, ආගමික නායකයන්, ජනමාධ්‍යවේදීන්, කලාකරුවන්, උගතුන්, වෘත්තීයවේදීන්, ගොවීන් හා කම්කරුවන් කෙරෙහිද බලපෑවේය. එම තත්ත්වය ඔවුන්ගේ අධ්‍යාත්මයන්ද ආධ්‍යාත්මික වශයෙන් කුණු කිරීමට හේතුවී තිබුණි.

විකෘතියේ ස්වභාවය

මෙය එක දිගට අවුරුදු විශාල ගණනක් සමාජ ජීවිතය කෙරෙහි බලපෑ භීතිය, සංත‍්‍රාසය, කම්පනය, ආතතිය, සංකූලතාව හා අසරණභාවය වැනි හේතු විශාල ගණනාවක් එකට එකතුවීමෙන් සමාජ අධ්‍යාත්මයේ ඇතිවී තිබෙන විශේෂිත විපරීත තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. ඕනෑම ආකාරයකින් වස්තුව හිමිකර ගැනීමට තිබෙන ආශාව, නීතියට බයනැතිකම, දූෂණයට හා වංචාවට ඇති කැමැත්ත, හිංසා කිරීමට, පීඩා කිරීමට හා පළිගැනීමට ඇති උනන්දුව, ආගමික බව හා ධාර්මික බව ප‍්‍රදර්ශනය කිරීමට තිබෙන කැමැත්ත, ඕනෑම පහත් ආකාරයකින් ලිංගික තෘප්තිය හිමිකර ගැනීමට තිබෙන උනන්දුව යනාදී ගති ලක්ෂණ එම විපරීත තත්්ත්වය විසින් සමාජයට උරුමකරදී තිබෙන සමහර දායාදයන් ලෙස සැලකිය හැකිය.

සමාජ අධ්‍යාත්මයේ ඇතිවූ තිබෙන මෙම විකෘති තත්ත්වය ජයගත යුතුව තිබෙන්නේ කෙසේද? සමහරවිට නිසි අවබෝධයක් තිබුණේ නම් රාජ්‍ය මට්ටමෙන්ද ඊට ප‍්‍රතිකාර කිරීමේ හැකියාවක් තිබුණේය. විටෙක දකුණේ සිංහල තරුණයන්ද තවත් විටෙක උතුරේ දෙමළ තරුණයන්ද යක්ෂාවේෂ වී ක‍්‍රියාකරන තැනකට තල්ලූවූයේ ඇයිද යන්න ගැනද, මෙතෙක් ඇතිවී තිබෙන මහා ආරාවුල්වලට බලපා තිබෙන හේතු මොනවාද යන්න ගැනද අවංකව කරුණු සොයා බලන තැනකට ගියේ නම් එම බිහිසුණු ලේ වැගිරීම් කෙරෙහි වර්ගය, කුලය, ආගම යන සාධක සේ ම ආණ්ඩු ක‍්‍රමයේ හා පාලන ප‍්‍රතිපත්තිවල ඇති බරපතළ දෝෂ ඒ තත්ත්වය කෙරෙහි බලපෑවේ කෙසේද යන්න සේ ම එම විෂම තත්ත්වයෙන් අත්මිදී කැබලි වී තිබෙන ජාතිය එකට එකතු කිරීම සඳහාත්, නීතියේ පාලනය රජයන, සියලූදෙනාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන සමාජ ක‍්‍රමයක් සමග ආණ්ඩු ක‍්‍රමයක් ඇතිකර ගැනීම සඳහා කළ යුතු ප‍්‍රතිසංස්කරණ මොනවාද යන්න ගැනත් නිවැරදි ලෙස තේරුම්ගත හැකිවන්නට ද ඉඩ තිබුණි. එය එසේ වී නම් ඒ සඳහා කැරෙන සමාජ සංවාදයන් සේ ම සිදුවූ බරපතළ වැරදි ගැන කැරෙන සොයා බැලීම් කුණුවී තිබෙන සමාජ අධ්‍යාත්මයටද ප‍්‍රතිකාර ලබාදෙන සමාජ චිකිත්සාවක් බවට පත්වන්නට ඉඩ තිබුණි.

එල්ටීටීඊයට එරෙහිව කරන ලද යුද්ධය ජයගැනීමට අවශ්‍ය තරම් විචක්ෂණභාවයක් රාජ්‍ය නායකයාට තිබුණද ඒ සමග ඇති කළ යුතුව තිබුණු මහා පරිවර්තනය ගැන විචක්ෂණ දැක්මක් රාජ්‍ය නායකයාට නොතිබුණි. රාජ්‍ය නායකයා ප‍්‍රායෝගික දැක්මක් ඇති නායකයකු වුවද යුද්ධය අවසන්වීමෙන් පසු ශ‍්‍රී ලංකාව අවතීර්ණ වූයේ අසාමාන්‍ය තරමේ වේගයෙන් වෙනස්වන සරල ප‍්‍රායෝගික දැක්මකින් පමණක් තේරුම් ගැනීමට අමාරු සංකීර්ණ අදියරයකටය. ඇතිවූ නව ඓතිහාසික අවධිය දෙමළ ප‍්‍රශ්නයට සාධාරණ විසඳුමක් ඉල්ලා සිටීමෙන් නොනැවතී මුළු රටටම බලපාන ආකාරයේ මහා පරිවර්තනයක් ද ඉල්ලා සිටියේය. එහෙත් රාජ්‍ය නායකයාගේ අභිලාෂය වූයේ සමස්තයේ පරිවර්තනයකට නොගොස් දෙමළ ප‍්‍රශ්නයට ද්‍රව්‍යමය දේවලට පමණක් සීමාවන ආකාරයට විසඳුම් ලබාදීමය.

එහිදී අවතැන්වූවන් නැවත පදිංචි කිරීම, අත්අඩංගුවේ සිටි එල්ටීටීඊ ක‍්‍රියාධරයන් පුනරුත්ථාපනය කොට නිදහස් කිරීම, පොලිස් සේවයට දෙමළ ජනයා අන්තර්ග‍්‍රහණය කරගැනීම, ත්‍රෛභාෂා ප‍්‍රතිපත්තිය මුළු රටටම බලපාන ආකාරයට කි‍්‍රයාත්මක කිරීම, යුද්ධය පැවති ප‍්‍රදේශවල යටිතල පහසුකම් නගා සිටුවීම වැනි අංශවල අසාමාන්‍ය තරමේ ප‍්‍රගතියක් පෙන්නුම් කිරීමටද සමත් විය. එහෙත් ඒ සියලූ දේට අතිරේකව ඔවුන්ට දියයුතු වැදගත්ම හා ප‍්‍රධාන දේ ලෙස සැලකිය හැකි ඔවුන්ට අහිමි වී තිබුණු ගෞරවය හා අභිමානය ලබාදීමට අසමත් විය. ආණ්ඩුවේ ප‍්‍රතිසංස්කරණ වැඩසටහනට ආවේණික දුර්වලම ලක්ෂණය ලෙස සැලකිය හැක්කේ තැනින් තැන කැරෙන ප‍්‍රතිසංස්කරණවලින් ඔබ්බට ගිය මුළු රටේ සමාජ - දේශපාලන ක‍්‍රමය ඉලක්ක කරගත් ප‍්‍රතිසංස්කරණයකට නොයෑමය.

දේශපාලන ක‍්‍රමයේ යල් පැනයෑම

යුද්ධය අවසන් කැරෙන අවස්ථාව වන විට රටේ පැවති දූෂිත දේශපාලන ක‍්‍රමයද තවදුරටත් ප‍්‍රයෝජනයට ගත නොහැකි තරමට ගරා හැලූණු දේශපාලන ක‍්‍රමයක් බවට පත්ව තිබුණි. ජේ.ආර්. ජයවර්ධන රටට දායාද කර තිබුණේ දීර්ඝකාලීන පැවැත්මක් ඇති භේදයකින් තොරව සියලූ ජනතාවගේ විශ්වාසයට හේතුවූ කාර්යක්ෂම දේශපාලන ක‍්‍රමයක් නොව එකට එකක් පටහැනි දේශපාලන ක‍්‍රම ගණනාවක් එකට පූට්ටු කොට තැනූ මනා ගැළපීමක් නැති, එක පුද්ගලයකු වෙත සකලවිධ රාජ්‍ය බලය ලබාදෙන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාකාරීත්වය බෙලහීන කරන හා විකෘති කරන, නීතියේ පාලනයකට ඉඩක් නැති දූෂිත දේශපාලන ක‍්‍රමයකි. යුද්ධය අවසන් වන අවස්ථාව වන විට එම දේශපාලන ක‍්‍රමය තවදුරටත් ඉදිරියට ගෙනයා නොහැකි තරමට බෙලහීන වී තිබුණා පමණක් නොව, යුද්ධය අවසන්වීමත් සමග ක‍්‍රමය නිරුවත්වීමක්ද සිදුවිය. ඒ සමග රාජ්‍ය බලය ඇතිව සිටි ආණ්ඩු පක්ෂය පමණක් ඉතිරි වී අන් සියලූ පක්ෂවල පැවැත්ම ඓතිහාසික වශයෙන් අහෝසිවීමක්ද සිදුවිය. ඉන්පසු ඒ සියලූ පක්ෂවල පැවැත්ම නාමික බෝඞ් ලෑලිවලට සීමාවූ තත්ත්වයකට පත්විය. ඉතිහාසය විසින් අන් සියලූ පක්ෂවල පැවැත්ම බෙලහීන කොට ආණ්ඩු පක්ෂයට තාවකාලිකව පවතින්නට ඉඩ දුන්නේ ඉතිහාසය විසින් නියම කර තිබුණු ආකාරයට ඉන්පසුව ඇති කළ යුතු මහා සමාජ පරිවර්තනය සිදුකිරීමට අවශ්‍ය අවස්ථාව ලබාදීම සඳහාය. ඒ අවස්ථාව ප‍්‍රයෝජනයට නොගැනීම තුළ ඊළඟට වියහැකිව තිබුණේ ඉතිරි වී තිබුණ ආණ්ඩු පක්ෂය සමග දේශපාලන ක‍්‍රමයද පූර්ණ ගරාහැලීමකට ලක්වීමය. දැන් සිදුවී තිබෙන්නේද එයයි.

දැන් තිබෙන තත්ත්වය තුළ පිපිරීමක් ඇතිවීමට විරුද්ධ පක්ෂවල පීඩනයක් අවශ්‍යවන්නේ නැත. හොඳට ගරාහැලූණු තත්ත්වයක තිබෙන යාන්ත‍්‍රණයේ පුංචි කාර්මික දෝෂයක් වැනි දෙයකින් පමණක් වුවද යාන්ත‍්‍රණයේ ක‍්‍රියාකාරීත්වය මුළුමනින් අවසන් කිරීමට හේතුවන පිපිරීමක් ඇතිවිය හැකිය. එය ඉතිහාසය විසින් නියම කර තිබෙන තත්ත්වයක් ලෙසද සැලකිය හැකිය. දැන් ඇතිවන්නට යන තත්ත්වය කඩා වැටෙන්නට නියමිතව තිබුණු නිවසක් එය කඩා වැටෙන්නට පළමුව කඩා ඉවත් නොකිරීම නිසා ඇතිවන කඩා වැටීමකට සමාන කළ හැකිය.

ගැලවීම ඇත්තේ කොතැනද?

එවැනි තත්ත්වයක් ඉදිරියේ වියහැකි දේ තේරුම් ගැනීමේ ශක්තියක් ඇති අයට මේ මොහොතේ කළහැකි විශේෂ දෙයක් තිබෙන්නේද? ඔවුන්ට පුංචි කණ්ඩායමක් ලෙස එකට එකතු වී සාකච්ඡා කොට නිවසේ ප‍්‍රධානියාත් එහි ජීවත් වන වෙනත් අයත් හමුවී තිබෙන අවදානම්සහගත තත්ත්වය ඔවුන්ට පැහැදිලි කරදීමට උත්සාහ කළ හැකිය. එහෙත් නිවසේ අධිපතියා හෝ එහි වෙසෙන වැඩි පිරිසක් ඉක්මන් කඩා වැටීමක් ඇතිවනු ඇතැ යි පිළිනොගනු ඇත. ඔවුහු දීර්ඝ කාලයක් ජීවත් වූවෝ මෙම නිවසේය. එය දීර්ඝ කාලයක් තිබුණේ ගරා වැටුණු තත්ත්වයකය. නිවස කොයිතරම් ගරාහැලෙනසුලූ තත්ත්වයක තිබුණද මීට පෙර එය කඩා නොවැටුණේය. ඒ නිසා එය දැන්ම කඩා නොවැටෙනු ඇතැ යිද තවත් කලක් එහි ජීවත්විය හැකි බවද ඔවුන් කියනු ඇතැ යි සිතිය හැකිය. ඉන්න අලූත් තැනක් නැතිව කොතරම් ගරාහැලූණු තත්ත්වයක තිබුණද ජීවත් වූ පරණ තැන අත්හරින්නට මිනිසුන් කැමති නැත.

ඉන්පසු ඔවුන්ට කළහැකි ඊළඟ දේ වනුයේ කඩා වැටෙන්නට නියමිත තත්ත්වයක තිබෙන එම නිවසින් පිටවී ගොස් අනාගතයේ පරණ නිවසේ සිටින සියලූ දෙනාටමත් ගෞරවයෙන් ජීවත්විය හැකි නව නිවසක් ඉදිකර ගැනීමේ අදහස ඇතිව අර්බුද කාලයේ ජීවත්වන්නට තාවකාලික පැල්පතක් තනාගැනීමය.

සියලූදෙනාට ගෞරවයෙන් ජීවත්විය හැකිය යන යෙදුම යෙදුවේ ඇයිද යන ප‍්‍රශ්නය කියවන්නන් තුළ ඇතිවිය හැකි නිසා සංකේතාත්මක අර්ථයෙන් ඒ ගැනද පැහැදිලි කිරීමක් කිරීම සුදුසුය. කඩා වැටෙන්න ආසන්න තත්ත්වයක තිබෙන නිවසේ සැලකිය යුතු තරම් මිනිස්සු සංඛ්‍යාවක් ජිවත් වූහ. නිවසේ පොදු අයිතිය ඒ සියලූදෙනාටම හිමිව තිබුණි. ඔවුහු විවිධ වර්ගවලට, විවිධ කුලවලට හා විවිධ ආගම්වලට අයත් වූහ. කතා කරන භාෂාවන්ගේ වෙනස්කම් තිබුණි. පහසුකම් ලබාදී තිබුණේ අසමාන ආකාරයකටය. නිවසේ හොඳම කොටස වෙන්කර ගෙන තිබුණේ බහුතර වර්ගයට, බහුතර කුලයට හා බහුතර ආගමට අයත් අයවලූන් සඳහාය. නිවසේ බහුතරය බලය තිබුණේ ඔවුන්ටය. එකම වර්ගයට අයත් වුවත් කුලයෙන් හා ආගමෙන් වෙනස් වී නම් ඔවුන්ට ලැබුණේ කුඩම්මාගේ සැලකිලිය. බහුතර නොවන වර්ගවලට අයත් අය සම්බන්ධයෙන්ද ක‍්‍රියාත්මක වූ ප‍්‍රතිපත්තිය ඊට සමාන විය.

වර්ගය, කුලය, ආගම යන සාධක නිසා නිවැසියන් අතර සමාදානයක් නොතිබුණි. ඒ නිසා එහි නිතර අඬදබර සිදුවිය. සමහරු තිබුණු මධ්‍යගත පාලනය වෙනුවට බලය විමධ්‍යගත පාලනයක් ඉල්ලා සිටියෝය. අයිතිවාසිකම් දිනාගැනීම සඳහා වන වෙනස් ආකාරවල උත්සාහයන්ද ක‍්‍රියාත්මක විය. එහෙත් කිසිදු වෙනසක් ඇති නොවීය. නිවසේ ගරාහැලීම වේගවත් කිරීමටද නිවැසියන් අතර පැවති භේද හා අඬදබර බලපෑවේය. නිවැසියන් අතර පැවති භේද නිසා නිවසේ ගරාහැලීමේ ප‍්‍රශ්නය කෙරෙහි පූර්ණ අවධානයක් යොමුකිරීමට ඔවුන්ට නොහැකි විය.

නිවසේ කඩා වැටීමක් ඇතිවීමට පෙර ඉන් පිටවී පැල්පතක් තනාගත් පුංචි කණ්ඩායම අලූත් අත්හදා බැලීමක යෙදුණේයැ යි සිතමු. එම කණ්ඩායමට අයත් පුද්ගලයෝ විවිධ වර්ගවලට විවිධ කුලවලට හා විවිධ ආගම්වලට අයත් වූහ. ඔවුහු තනාගත් පැල්පතේ ජීවත් වූවෝ සමානයන් ලෙසය. ඒ නිසා ඔවුන්ගේ ජීවිත අඬ දබරවලින් තොරවිය. ඔවුහු අසමානතාවන් කෙරෙන් බලපෑ හේතු සාකච්ඡා කළෝය. ඒවාහි නිරර්ථකභාවය තේරුම් ගනිමින් වෙනස්කම් ඉවසමින් එකිනෙකා කෙරෙහි ආදරයෙන්ද, ගෞරවයෙන් ද ජීවත්වීමට ඉගෙන ගත්තෝය. කඩා වැටෙන්නට නියමිත නිවසේ ජීවත්වන්නන්ටද ජීවත්වීමට ඉඩ ලැබෙන හොඳ නව නිවසක් ඔවුන් විසින් සැලසුම් කරන ලද අතර එකිනෙක කණ්ඩායම්වල අනන්‍යතාවන්ද ආරක්ෂා කරගනිමින් සමාන අයිතිවාසිකම් ඇතිව විශ්වාසයෙන් හා ගෞරවයෙන් එකට ජීවත්වීමට ඉඩ ලබාදෙන අභ්‍යන්තර පාලන ක‍්‍රමයක්ද සැලසුම් කළෝය. ගෞරවයෙන් එකට ජීවත් විය හැකි වඩා හොඳ නිවසක් ගැන සේ ම ඒ නිවසේ පාලනය සඳහා යොදාගත හැකි සාධාරණ පාලන ක‍්‍රමයක් ගැනද සිහින දැක්කෝය. ඒ සමග පරණ නිවසේ හදිසි කඩාවැටීමක් ඇති වුවහොත් එහි ජීවත්වන්නන්ට සිදුවන හානිය අවම කරගැනීම සඳහා කළයුතු දේවල් ගැන සේ ම හදිසි අවස්ථාවකදී පැල්පත සහන මධ්‍යස්ථානයක් ලෙස පාවිච්චි කළයුතු ආකාරය ගැනද සාකච්ඡා කොට ඒ සඳහා දළ සැලැස්මක් ඇතිකර ගත්තෝය.

අවසාන විග‍්‍රහයේදී මට කියන්නට අවශ්‍ය වී තිබෙන්නේ යුක්තිසහගත හැඟීම් හා ආකල්ප ඇති සුළු පිරිසකට යහපත් සමාජ-දේශපාලන ක‍්‍රමයක් සඳහා අඩිතාලම දැමිය හැකි බවය. පැරණි නිවසින් වෙන්වී අලූතෙන් ගොඩනගන පැල්පත දේශපාලන ආශ‍්‍රමයකට සමාන කළ හැකිය. එය මිනිසුන්ගේ අධ්‍යාත්මය පිරිසිදු කරන ඔවුන්ට ප‍්‍රඥාව ලබාදෙන ආයතනයකි. ආශ‍්‍රමය බිහිකරන පළමු කණ්ඩායම සියලූ වර්ගවලට, සියලූ ආගම්වලට හා සියලූ කුලවලට අයත් යහපත් සමාජයක් ඇති කරගැනීමේ අවංක උනන්දුවක් ඇති, ඒ සඳහා කැපවීමට කැමති පුරෝගාමී හැකියාවන්ගෙන් යුතු ස්ත‍්‍රී පුරුෂයන්ගෙන් සමන්විත විය යුතුය. පළමුවෙන්ම සිදුවිය යුත්තේ ඔවුන්ගේ අත්වල කිසියම් ප‍්‍රමාණයකට හෝ කැතකුණු තැවරී ඇත්නම් ඒවා පිරිසිදු කරගැනීම මගින් පිරිසිදු මිනිසුන් බවට පත්වීමය.

ප‍්‍රතිපත්තිමය එකඟතාවක් ඇතිකර ගැනීමේදී වර්තමානයට කිසිදු තේරුමක් නැති, මිනිසුන් පීඩාවට පත් කරන යල්පැනගිය දෙයක් ලෙස සැලකිය හැකි, කුලභේදයට තිබෙන පිළිගැනීම මුළුමනින් අත්හළ හැකිය. වෙනස් වර්ගවල හා ආගම්වල පැවැත්ම පිළිගනිමින් ඒවාහි අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් සමාන අයිතිවාසිකම් ඇතිව ඒවාට පවතින්නට තිබෙන අයිිතිය පිළිගත හැකිය. ස්ත‍්‍රී පුරුෂ සමානතාව පිළිගත හැකිය. සියලූ ආකාරයේ හිංසාවන්ගෙන් තොරව ජීවත්වීමේ වැදගත්කම පිළිගත හැකිය. අයථා ලෙස ධනය ඉපයීම, සොරකම හා වංචාව බරපතළ වරදක් ලෙස පිළිගත හැකිය. නීතිගරුකව ජීවත්වීමේ වැදගත්කම පිළිගත හැකිය. මෛත‍්‍රිය, කරුණාව, උපේක්ෂාව හා විරුද්ධ මත ඉවසීමේ වැදගත්කම පිළිගත හැකිය. සරල ජීවිතයක් ගතකිරීමේ හා පරිසරය කෙරෙහි සංවේදීව ජීවත්වීමේ වැදගත්කම පිළිගත හැකිය. එවැනි ගුණධර්ම සඳහා පොදු එකඟතාවක් ඇතිකර ගන්නා අතර තමන් ජීවත්වන රට මුහුණදී තිබෙන අර්බුදය කෙරෙහි බලපා තිබෙන හේතු මොනවාද යන්න ගැන හා ඒවා ජයගත යුතුව තිබෙන ආකාරය ගැන කරුණු සොයා බලන තැනකට යා හැකිය. නූතන ලෝකයේ ඇතිවී තිබෙන හා ඇතිවෙමින් තිබෙන වෙනස්කම් ගැනද කරුණු සොයා බලන තැනකට යාහැකිය. ඒ මගින් යහපත් අධ්‍යාත්මයක් ඇති හා යථාර්ථවාදී දේශපාලන දැක්මක් ඇති කණ්ඩායමක් බවට පත්විය හැකිය. පළමුව තමන් හොඳවී, දෙවනුව තම පවුල්වල සාමාජිකයන්ද, මිතුරන් හා ළඟ අසල්වැසියන්ද, තුන්වෙනුව මහජනතාවද වර්ගවාදයෙන්, කුලවාදයෙන් හා ආගම්වාදයෙන් තොර යහපත් ගුණධර්මවලින් යුතු හොඳ මිනිසුන් බවට පත් කරන සංවිධානාත්මක වෑයමක නිර්මාණශීලී ලෙස නිරතවිය හැකිය. අලූතෙන් එකතු වන්නන්ගේ දැනුම පෝෂණය කිරීම සඳහා ඔවුන්ට ආශ‍්‍රමික පුහුණුවක් ලබාදිය හැකිය. ප‍්‍රවෘත්ති සාකච්ඡා, ජනමාධ්‍යවලට දෙන සම්මුඛ සාකච්ඡා, ප‍්‍රසිද්ධ රැස්වීම්, පෙළපාලි, මැතිවරණවලට තරග කිරීම වැනි සාම්ප‍්‍රදායික දේවලින් ඉවත් වී ආණ්ඩුව හෝ වෙනත් දේශපාලන පක්ෂ සමග රණ්ඩු කරන තැනකටද නොගොස් යහපත් මිනිසුන් ගොඩනගන සමාජ ව්‍යාපාරය ඉදිරියටම ගෙනයා හැකිය. එම ක‍්‍රියාවලිය තුළ නව අදහස්ද, නව නිර්මාණද නව නායකයන්ද බිහිවනු ඇත. ක‍්‍රමයෙන් පැරණි දූෂිත-සමාජ-දේශපාලන ක‍්‍රමය හැකිළී නව වටිනාකම්වලින් පෝෂිත සමාජ-දේශපාලන ක‍්‍රමය ඒ තැන ගනු ඇතැ යි කිව හැකිය.

මෙම අදහස සංවාදයට හා විවාදයට ලක්විය යුතුය.




Line
Sri Lanka