ravaya
83, පිළියන්දල පාර, මහරගම. දුරකථන: 2851672 / 2851673 කර්තෘ මණ්ඩලය: 2842064 බෙදාහැරීමේ අංශය: 2896330 ෆැක්ස්: 2851814 ඊමේල්: ravaya@gmail.com

දර්ශනයක් නැති ආණ්ඩුවක්

රට තිබෙන්නේ ප‍්‍රශ්න රාශියක ගිලීසිටිමින් සාජ්ජ දමන තත්ත්වයකය.

ආණ්ඩුව මොනවා කිව්වත් මේ වන විට මාසයක් තිස්සේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය මුළුමනින්ම පාහේ අක‍්‍රිය වී තිබේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැඩවර්ජනය අරඹන්නට සූදානම්ව සිටියදී ජනාධිපති ලේකම් සමග සාකච්ඡාවක් අරඹා වර්ජනය කල්දමාගන්නට ආණ්ඩුව උත්සාහ කළේය. ප‍්‍රශ්නය විසඳීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත්කිරීමේ යෝජනාවක්ද එහිදී ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ඉදිරිපත්වූයේය. මේ විසඳුම් දෙකම නොපිළිගෙන ආචාර්යවරුන් වැඩවර්ජනයට යෑම ගැන ආණ්ඩුවේ හිත රිදී තිබෙන බව පෙනෙන්නට තිබේ. සාකච්ඡා පැවැත්වීම වැඩවර්ජනය කරන අතරම කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරු තීරණය කළහ. එය නිවැරදි තීරණයකි. ආණ්ඩුවේ යෝජනා විශ්වාස කළ නොහැක්කේ, ආණ්ඩුවම සිය විශ්වාසවන්තභාවය බිඳගෙන ඇති හෙයිනි. මීට අවුරුද්දකට පෙර සිටම, උසස් අධ්‍යාපන ඇ...



පාලනයේ ව්‍යුහ වෙනස් කිරීමෙන් ප‍්‍රශ්න විසඳෙන්නෙ නැහැ

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික - චමීර කොස්වත්ත

විමලනාත් වීරරත්න [Sunday, August 5, 2012]

මෙවර පළාත් සභා ඡන්දය විෂයෙහි මැතිවරණය පිළිබඳ විකල්ප අදහසක් ප‍්‍රායෝගිකත්වයට නැංවීම කෙරෙහි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා. ඒ මොකක්ද?

මැතිවරණවලින් ජනතාවට තමන්ගෙ අභිලාෂය ඉටු කරගන්න බැරි තත්ත්වයක් අද වනවිට උදාවෙලා තිබෙනවා. ඒ කියන්නෙ පක්ෂයට හෝ පුද්ගලයාට ඡන්දෙ දුන්නාට තමන්ගෙ මතය ඉන් නිරුපණය වෙන්නේ නැහැ. පක්ෂවලට ප‍්‍රතිපත්තියක් නැතිකමත් අපේක්ෂකයන්ට ස්ථාවරත්වයක් නැතිකමත් මීට හේතුවෙලා තිබෙනවා. ඒ නිසා බොහෝ දෙනෙක් මේ ධනපති මැතිවරණ ක‍්‍රමය තුළින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වඩා හොඳින් පිළිබිඹු වෙන්නෙ නැති නිසා මැතිවරණ ක‍්‍රියාදාමය තුළින් ක‍්‍රමයෙන් දුරස්වෙමින් යනවා. අනික් අතට පළාත් සභා ඡන්දය කියන මේ නිශ්චිත කාරණය ගත්තත් පෙනී යන දේ තමයි ආණ්ඩුව මේක පවත්වන්නෙ ජනතාවගෙ ප‍්‍රශ්න විසඳන්න නෙවෙයි තමන් දැනට මුහුණ දී සිටින අර්බුදවලින් ගොඩ යාමටයි. ඒ නිසා මේ මැතිවරණය ඇතුළෙ වෙනස් අදහසක් ප‍්‍රකාශ කරන්න කැමති කෙනකුට විකල්ප අවස්ථාවක් තිබිය යුතුයි. ඒ විකල්ප අවස්ථාව තමයි අපි විකල්ප මැතිවරණ ක‍්‍රියාවලියක් යටතේ සාක්ෂාත් කරගැනීමට බලාපොරොත්තුවන්නේ. අපේ මූලික අදහස වන්නේ මේ මැතිවරණය යටතේ තමන්ගෙ අභිමථාර්ථය පිළිබිඹු කරගත නොහැකි ජනතාවට එයට විරෝධය පළ කරන ප‍්‍රකාශනයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාවට ප‍්‍රවේශවීමේ ඉඩකඩක් විකල්ප මැතිවරණ ක‍්‍රමයක් පිළිබඳ අදහසේදී ලැබෙනවා. ජන සහභාගිත්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදය වඩා පළල් කිරීමට මෙවැනි ක‍්‍රියාමාර්ග හේතුවන බව අපි හිතනවා.

ජනතාවට මෙහිදී මූලිකව පැහැදිලි කරන කාරණය කුමක්ද?

මූලිකව අපි ප‍්‍රශ්න කරනවා ඇයි මේ ආණ්ඩුව මැතිවරණය ගෙනාවෙ කියන එක. ආණ්ඩුවට වුවමනාව තිබෙන්නෙ ප‍්‍රශ්න විසඳන්නද, ප‍්‍රශ්න මගහරින්නද? ඊළඟට අපි ජනතාවගෙන් අහනවා තමන් මුහුණ දෙන ප‍්‍රශ්න මොනවාද? මේ මැතිවරණය තුළ කවර පාර්ශ්වයකට ඡන්දය පාවිච්චි කළත් කවර අපේක්ෂකයකුට ඡන්දය පාවිච්චි කළත් තමන් මුහුණ දෙන ඒ ප‍්‍රශ්න සමුදාය විසඳෙනවද? ඊළඟට මේ මැතිවරණ ක‍්‍රියාදාමය ඇතුළෙ විපක්ෂයත් තම වගකීම ඉටු නොකර මගහරිමින් සිටිනවා. ඒ ක‍්‍රියාවලියට විරෝධය පළකරන්නෙ කොහොමද? අනික් අතට ජනතාව තමන්ට අභිමත ප‍්‍රශ්නයකට සමාජ අවධානය දිනාගැනීම සඳහා ක‍්‍රියාමාර්ග ගන්නෙ කොහොමද? මේ කාරණා තමයි අපි විකල්ප මැතිවරණ ක‍්‍රියාවලිය යටතේ මුදුන් පමුණුවා ගන්න බලාපොරොත්තු වන්නේ.

දේශපාලන පක්ෂයක් සක‍්‍රියයි කියලා ජනතාව කියන්නේ ඡන්ද ක‍්‍රියාවලියත් සමගයි. ඔබේ පක්ෂයේ ඉහත අදහස තුළ ඡන්ද ක‍්‍රියාවලියක් නැහැ. ඒ අඩුව පිරිමසන්නේ කොහොමද?

වමේ දේශපාලනයේදී මැතිවරණ කියන්නෙ වේදිකාවක්. ජනතාව තුළ වඩා නිවැරදි දේශපාලන ආකල්ප ජනිත කරන්න අවස්ථාවක්. මැතිවරණයකදි තරග වැදීමෙන් අපි අපේක්ෂා කරන්නෙ ඒ දේශපාලන මතය ගැන ජනතාව සමග සාකච්ඡා කිරීමයි. ඒකට අපි විවිධ ප‍්‍රචාරණ විධි භාවිත කරනවා. ජනතාවට වැදගත්වන්නේ රටේ දේශපාලනය, ප‍්‍රතිපත්ති හා ආර්ථිකය පිළිබඳව විවිධ දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් කරන වැඩපිළිවෙළ මොකක්ද? ක‍්‍රියාමාර්ග මොනවාද කියන එකයි. අද පක්ෂ හා පුද්ගලයන් මහජනතාවගේ වරම ඉල්ලන්නෙ ඒ ප‍්‍රතිපත්ති මත සිට නෙවෙයි. ඊට වඩා ලාභදායී පදනමක් මත සිටයි. ඒ නිසා ප‍්‍රතිපත්තිමය දේශපාලනය පිළිබඳ අවශ්‍යතාවක් අපිට තිබෙනවා. ඡන්දය ඉල්ලන ගමනුත් අපිට පුළුවන් අපේ අදහස ජනතාව අතරට ගෙනයන්න. අපි මේ වතාවෙ තරග නොවැදී මැතිවරණ භූමියට හා දේශපාලන අවකාශයට වෙනත් ආකාරයකින් කඩාවැදීම සිදු කරනවා. විකල්ප මතයක් ක‍්‍රියාමාර්ගයක් විතරක් නොව විවිධ සංස්කෘතික අංග සහිතව කඩා වැදිලා අපි මේ මතය ජනතාවට කියනවා. අපි ඡන්දෙ ඉල්ලූවෙ නැහැ කියලා මගහැරෙන්නෙ නැහැ. මේක වෙන විදියක ප‍්‍රවේශයක්. අපි ඉදිරියේදී අපේ නියෝජිතයන් පත් කරන ඡන්දවලට යනවා. නමුත් මෙතනදි ඒ සඳහා වෙන ස්ථාවරයක ආරම්භක පදනමක් දමා ගැනීමට යත්න දරනවා.

පළාත් සභා මැතිවරණය ගතහොත් එහි මූලික අරමුණ බලය බෙදීමක් සිදුකිරීමයි. පළාත් සභා කියන දැනට ස්ථාපිත බලය බෙදීමේ උපකරණය පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ස්ථාවරය මොකක්ද?

ජාතික ප‍්‍රශ්නයට විවිධ උත්තර රටේ සාකච්ඡා වෙලා තිබෙනවා. ඒවායින් එකක් තමයි ආණ්ඩුවේ බලය සකස් වෙලා තියන ආකාරය එහාටත් මෙහාටත් හුවමාරු කරන එක. මේ ආයතන ඇති කළාට බලය කා එක්කවත් බෙදාගෙන නැහැ. ඇත්තටම වෙලා තියෙන්නෙ ධනපති ආණ්ඩුවක පරිපාලන ව්‍යුහය තරමක් වෙනස් කරගැනීමයි. අපේ රටේ ජාතික ප‍්‍රශ්නයට මෙසේ ව්‍යුහවල වෙනස්කම්වලින් විසඳුමක් දෙන්න බැහැ. ඒක නිරර්ථක උත්සාහයක්. බලය මධ්‍යගත වුණත්, බෙදාහැරියත් මේ තියන ක‍්‍රමය තුළ මහජනයාගේ ප‍්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නෙ නැහැ. ඔය දෙකම උත්තර නෙවෙයි. ඒ නිසා මේකට මාරාන්තික ලෙස හැපෙන්න අපි උත්සාහ කරන්නෙ නැහැ. අපි ජනතාවටත් යෝජනා කරන්නෙ උත්තරේ කියලා හදලා දීලා තියන රැවටිල්ලට හසුනොවී අපි ඇත්ත උත්තරේ සොයා ගනිමු කියලයි. දෙවනුව අපේ රටේ දැන් මේ තිබෙන පරිපාලන ව්‍යුහය සමස්තයක් ලෙස ගත්තම ප‍්‍රාදේශීය සභාවේ සිට මධ්‍යම රජය දක්වා ආයතන පිරිහුණු අකාර්යක්ෂම ඒවා බවට පත්ව තිබෙනවා. ඒවා තුළ කිසිදු අයුරකින් විද්‍යානුකූලව විෂය හඳුනාගැනීමක් නැහැ. වැඩ පවරා ගැනීමක් නැහැ. කිසියම් ආකාරයක පරිපාලන ව්‍යුහයක් සකස්වෙන්න විද්‍යාත්මක පදනම තමයි ජනතාවගේ ඒකරාශිවීමක් සහිත නිෂ්පාදන ක‍්‍රියාවලියක් හා වෙළෙඳපොළ ස්ථානගතවීමක් පැවතීම. අපේ රටේ එවැනි පදනමක් නැහැ. ඒ නිසා සියලූම ආයතන අකාර්යක්ෂම වන එකක් බවත්, පවරාගන්න විෂයයන්ට සාධාරණය ඉටු කරන්න බැරිවෙන එකත් පුදුම වෙන්න දෙයක් නෙවෙයි. මේවා ජනතා මුදල් කාබාසිනියා කරන ආකාර. හැබැයි ඒවාට එරෙහිව අප කළයුතු දේශපාලනය තියෙන්නෙ ඒවා තුළින් පලා ගිහින් නෙවෙයි. ඒ ක‍්‍රියාවලි තුළට අභිමුඛ වෙලයි. ඒ සම්බන්ධයෙන් ජනතාව සමග දේශපාලන සම්බන්ධයක් හදන්න ඕනෙ. ඒ කියන්නෙ අපි අවශ්‍ය විටෙක පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වෙන්නත් සූදානම්. අවශ්‍ය විටෙක වර්තමානයේදී වගේ වෙනත් වේදිකාවක ඒක ප‍්‍රශ්න කරන්නත් සූදානම්.

පළාත් සභාවලට ව්‍යවස්ථානුකූලව හිමිවිය යුතු මුදල්, නීති සම්පාදනය, ඉඩම් වැනි බලතල මධ්‍යම රජය දිගින් දිගටම රඳවාගෙන සිටිනවා. මේ සම්බන්ධයෙන් ඔබේ පක්ෂයේ ප‍්‍රායෝගික වැඩපිළිවෙළ මොකක්ද?

අපි ගැට ගැසී තිබෙන මේ සමස්ත පද්ධතියේම අවුලක් තිබෙනවා. ඒ අවුල තමයි අපි කොහොමද ජනතාවගේ අවශ්‍යතාවන් ඉටුවන ආකාරයේ පරිපාලන ව්‍යුහයකට යන්නෙ කියන එක. මෙතන ප‍්‍රශ්නෙ ජනතාව බලගන්වන්නෙ කොහොමද කියන එකයි. ජනයාට තමන්ගෙ ජීවිත හසුරුවා ගන්න මූලික අයිතිය ලැබිය යුතුයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අංගසම්පූර්ණ වෙන්නෙ එහෙම. මේ තියන ලාභය හා පැවැත්ම මුල්කර ගන්න ධනපති ආණ්ඩුවලට මේ කටයුත්ත කළ නොහැකියි. ඒක කළහැක්කේ ජනතාවගේ සුබ සාධනය මුල් කරගත් ක‍්‍රියාවලියකිනුයි. එහෙම ක‍්‍රියාවලියකට ක‍්‍රමයෙන් අනුගතවීමේදී තමයි අපිට හිතන්න වෙන්නෙ ජනතාව අතර මේ බලතල කෙසේ හැසිරවිය යුතුද යන්න ගැන. ඒවා මධ්‍යම රජය තබා ගන්නවාද පළාත් සභාවට දෙනවාද කියන එක එලරහිත සංවාදයක්. බලතල පළාත් සභාවට දුන්නා කියමු. කවුද ඒක හසුරුවන්නෙ. ජනතාවද නැහැ. මධ්‍යම රජයේ වගේම තවත් ප‍්‍රාදේශීය වශයෙන් ගොඩනැගුණු කණ්ඩායමක් ඒක හසුරුවනවා. මේක ජාතික ප‍්‍රශ්නයට උත්තරයක් නෙවෙයි නම් මේක ඇතුළෙ හැදෙන කවර වෙනස්කමක් වුණත් ඒක මේ තිබෙන විකෘතිය තව වැඩ කරන්නක් බවට පත්වෙනවා. ඒ නිසා මේ සමස්ත ව්‍යුහයම ප‍්‍රතික්ෂේප වෙලා ජනතාවට තමන් වෙනුවෙන් තීරණ ගතහැකි වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමවේදයක් සකස් වෙන්න ඕන.

අපි නිදර්ශනයක් ලෙස උතුරේ ජනතාවගේ අපේක්ෂාව ගතහොත් ඔවුන්ට පළාත් සභා බලතලවත් ලැබුණේ නැහැ. ඔවුන්ගේ ඒ පිළිබඳ අපේක්ෂාව අපිට පිටුදකින්න බැහැ. මේ ගැන කොහොමද කල්පනා කරන්න වෙන්නෙ?

අපි හිතනවා දෙමළ ජාතින සන්ධානයට දෙමළ බහුතරය ඡන්දෙ දෙන නිසා ඒ සමස්ත ජනතාවගේ අභිලාෂයන් නියෝජනය කරන්න දෙමළ ජාතික සන්ධානය සමත් වෙනවා කියලා. ඒකෙ අනික් පැත්ත තමයි දකුණට අදාළව වෙන්නෙත්. එජාපයට හරි තව කාටහරි ඡන්දෙ දීලා බලය දුන් පමණින් සමස්ත ජනතාවගේ අභිලාෂය නියෝජනය වෙන්නෙ නැහැ. ඡන්දෙන් බලයට පත්වීම කියන්නෙ ඒ විකල්ප අතර සාපේක්ෂ දෙයක්. පළාත් සභාවකින් හරි ස්වයං පාලනයකින් හරි උතුරේ ජනයාට සෙතක් වෙන බවට තියන අදහස ඔවුන්ට පටවා තිබෙන්නෙ දෙමළ ධනපති දේශපාලනය විසින්මයි. ඒකත් ඔවුන් තමන්ගෙ පැවැත්ම සඳහා කරන වැඩක්. දෙමළ ධනපති පක්ෂවලටත් සිංහල ධනපති පක්ෂවලට වගේම මේ වගේ ව්‍යාජ මත ජනතාව මත පටවන්න සිද්ධවෙලා තියනවා. අපි උදාහරණයකට ඉඩම් බලතල ගනිමු. ඒ ගැන පළාත් සභාවෙ ලොකු සංවාදයක් යනවා. ටීඑන්ඒ ඉඩම් බලතල ඉල්ලනවා. හැබැයි දෙමළ ජාතික සන්ධානය කතා කරන්නෙ නැහැ යුද්දෙ නිසා අවතැන් වූ ජනයාගේ ඉඩම් අයිතිය තහවුරු කර දෙන්නෙ කොහොමද කියලා. නැත්නම් සාම්පූර්වල ඉන්දීය වාණිජ කටයුත්තකට ඉඩදෙද්දි එහි සිටි ජනයාගේ ප‍්‍රශ්න කොහොමද විසඳන්නෙ කියන එක ටීඑන්ඒ එකට විෂය වෙලා නැහැ. එතනදි ටීඑන්ඒ ඉන්දියාවේ දේශපාලන වුවමනාවන් සමගත් එකඟයි. එතකොට ඉන්දීය දේශපාලන ව්‍යාපෘතිය පළමු කොටගෙන තම රටේ ජනයාගේ ජීවත්වීමේ ගොවිතැන් කිරීමේ ඉඩම් අයිතිය පිළිබඳ ප‍්‍රශ්නය අතහරිනවා. අපි මේ ප‍්‍රශ්නයට ප‍්‍රවේශ වෙන්නෙ එතැනින්. මූලික ප‍්‍රශ්නය ජනතාවට ඉඩම්. ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය මූලික නිදහස. මේවා සම්පූර්ණ කරගැනීමෙන් තොරව පාලන ව්‍යුහයේ කරගන්නා වෙනස්කම්වලින් ප‍්‍රශ්න විසඳෙන්නෙ නැහැ. ඒ නිසා ඉඩම් බලතල උතුරට දෙන්න ඕනද නැද්ද කියන ප‍්‍රශ්නෙට අපි ඔව් කිව්වත් නෑ කිව්වත් අපේ උත්තරය අසම්පූර්ණයි. එතන තිබෙන ඇත්ත ප‍්‍රශ්නය තමයි ජනතාවට වාසස්ථාන සඳහාත්, ගොවිතැන් කරන්නත් ඉඩම් නැහැ. මේ ප‍්‍රශ්නයටයි උත්තර සැපයෙන්න ඕනෙ. ඒ ප‍්‍රශ්නයට උත්තරේ පළාත් සභාව ඇතුළෙ හම්බ වෙන්නෙ නැහැ. පළාත් සභාවට ඉඩම් බලතල දුන්නයි කියලා ඒ උත්තරේ ලැබෙන්නෙත් නැහැ.

ඔය කියන මතයට අදාළව ප‍්‍රායෝගික ශක්‍යතාවක් තහවුරු නොකිරීමේ අඩුව නිසා මතය කොපමණ දුරට වලංගු වෙයි කියලා හිතනවද?

ඔව්. එතනදි අපිට ලොකු වගකීමක් තිබෙනවා. ඓතිහාසිකව වමෙන් වෙච්ච මගහැරීම පිළිබඳව ස්වයං විවේචනාත්මකව මේ ප‍්‍රශ්නය දෙස බැලිය යුතුයි. යුද්දෙ නිසා උතුරෙ ජනතාව සමග දේශපාලනය කරන්න ප‍්‍රමාණවත් අවස්ථාවක් ලැබුණෙ නැහැ කියන උත්තරේ අපි කාටවත් ප‍්‍රමාණවත් නැහැ. රටේ වාර්ගික සහජීවනය ඇතිවීම පිළිබඳව පොදු භාවය, සමානාත්මතාව, එක්සත්කම පිළිබඳව පළමුව පළල් දේශපාලන දෘෂ්ටියක් ගොඩනගන්න අපි අසමත් වෙලා තිබෙනවා. අපේ තියන අසමත්කම එතන තියන බව ඇත්ත. අපේ දේශපාලන ස්ථාවරයන්ගෙන් පමණක් නෙවෙයි අපේ භාවිතයන්ගෙනුත් ඊට පිළිතුරු සෙවිය යුතුයි. උතුරේ ජනයාගේ විරැකියාව, ආර්ථිකය, වාසස්ථාන, අතුරුදන්වීම්, රැඳවුම්කරුවන් පිළිබඳව ප‍්‍රශ්න කන්දරාවක ඔවුන් ගිලී සිටිනවා. ඒ සියල්ල, නැතහොත් අවම ප‍්‍රතිසංස්කරණ උතුරේ ජනයාට ලබාදිය යුතුයි කියලා ආණ්ඩුවට බලකරන ක‍්‍රියාවලියක් මුළු රට තුළම පැන නගින්න ඕන. අපි ඊට මූලික වෙන්න සූදානම්. ඒ අඩුව පිරවීමට අපි සියලූදෙනාගෙ දායකත්වය ඇතුළෙ තමයි උතුරේ ප‍්‍රශ්නයටත් විසඳුමක් හැදෙන්නෙ.




Line
Sri Lanka