කුඩා ළමුන්ගේ ජීවිත කෙරෙහි මව හා පියාද ඔවුන්ගේ අධ්‍යාපනික හා සමාජ පරිසරයද
බලපායි. නූගත් දෙමාපියන් පමණක් නොව සමහර උගත් දෙමාපියන් පවා දරුවන්
හදන්නන් වාලේ මිස නිසි අවබෝධයකින් යුතුව එසේ කරන්නේ නැත. ඒ සඳහා ඔවුන්ට
මගපෙන්වන ක‍්‍රමයක්ද රටේ නැත.
සමාජ අධ්‍යාත්මය මරණයට පත්වීම
ගෙවී ගිය දශක තුනකට වැඩි කාලයක් තිස්සේ රටේ ඇතිවූ බිහිසුණු හා විපරීත සිදුවීම්
සමාජ අධ්‍යාත්මය අවුල් කිරීමට හා විකෘති කිරීමට හේතුවී තිබේයැ යි කිව හැකිය.
ඇතිවූ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාකාරකම්වලින් විශාල පිරිසක් කායික වශයෙන් මරණයට පත්වන විට
ජීවතුන් අතර සිටින අයද ආධ්‍යාත්මික වශයෙන් මුළුමනින් හෝ කිසියම් ප‍්‍රමාණයකට
හෝ මරණයට පත් අය බවට පත්වූහ. ඒ නිසා දේවල තිබෙන හොඳ නරක, හරි
වරද, යුක්තිය අයුක්තිය තේරුම් ගැනීමට තිබෙන හැකියාව මුළුමනින් හෝ කිසියම්
ප‍්‍රමාණයකට අහිමි කරගෙන තිබේයැ යි කිව හැකිය. උසස් පරමාර්ථයන්ගෙන් තොර
බව, ආත්මාර්ථකාමී බව, ඕනෑම ආකාරයකින් ද්‍රව්‍යමය දේවල් අත්පත් කරගැනීමට හා
ඉඳුරන් පිනවීමට ඇති ගිජු බව, ප‍්‍රබෝධයෙන් හෝ තෘප්තියෙන් තොර මලානික ජීවිත ඒ
නිසා ඇතිවී තිබෙන ප‍්‍රතිඵල ලෙස සැලකිය හැකිය.
මෙය විශේෂ ප‍්‍රතිකාර ලැබිය යුතු විශේෂ තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත.
එහෙත් ප‍්‍රතිකාර වෙනුවට ඔවුන්ගේ මනස්වලට නොකඩවා පොම්ප කරමින් තිබෙනුයේ
තිබෙන විකෘති තත්ත්වය උත්සන්න කරන විෂබීජ සහිත කුණුකන්දල්ය. එහිදී දැන හෝ
නොදැන මුද්‍රිත හා විද්‍යුත් ජනමාධ්‍ය රඟපාමින් තිබෙන භූමිකාව ඉතාමත්ම විනාශකාරීය.
ඒවා විසින් මහත් ඕනෑකමින්ද, ගම්භිර හා තරගකාරී ලෙසද හා රසවත් කොට
මහජනතාවගේ මනසට පොවන ජනප‍්‍රිය මාතෘකා බවට පත්ව ඇත්තේ පාතාල ලෝකයේ
බිහිසුණු අපරාධ, ස්ත‍්‍රී දූෂණ හා ළමා අපචාර, කොඩිවින, යන්ත‍්‍ර මන්ත‍්‍ර හා භූතයන්
ගැනය. දැනුම, විචාර බුද්ධිය, රසඥතාව හා ගුණධර්ම වර්ධනය කිරීමට හේතුවන
දේවලට ලබාදී තිබෙන වැදගත්කම ඉතාමත් අල්පය. පවුලේ සියලූදෙනාම එකට නරඹන
ජනප‍්‍රිය අංගයක් බවට පත්ව තිබෙන බොහෝ ටෙලිනාට්‍ය පවා තිබෙන්නේ උසස්
තත්ත්වයක නොව පහත් තත්ත්වයකය. ප‍්‍රසිද්ධ විභාග පැවැත්වෙන අවස්ථාවලදී විභාග
අපේක්ෂකයන්ට හා ඔවුන්ගේ දෙමාපියන්ට රූපවාහිනී නාලිකා මගින් උපදෙස් දෙන්නන්
බවට පත්ව තිබෙන්නෝ නක්ෂත‍්‍රකරුවෝය.
දෙමාපියන් මෙම නිසරු රැල්ලෙන් අත්නොමිදී ඔවුන්ගේ දරුවන් යහපත් දරුවන් බවට
පත් කළ නොහැකිය. රූපවාහිනී නාලිකාවක් මගින් විසුරුවා හරිනු ලබන නිසරු
වැඩසටහනක් දරුවන් නරඹන්නේ ඔවුන්ගේ දෙමාපියන් සමගය. ඒවා දරුවන් කෙරෙහි
ඇති කරන බලපෑමේ හොඳ නරක තේරුම් ගැනීමේ හැකියාවක් දෙමාපියන්ට තිබිය
යුතුය. දෙමාපියන් ඒවායින් සරල විනෝදයක් ලබන විට දරුවන් ඒවාහි එන ජනප‍්‍රිය
නිසරු චරිත ඔවුන්ගේ ආදර්ශ ප‍්‍රතිරූප බවට පත් කරගත හැකිය. පළමු කොට දරුවන්
සිටින දෙමාපියන් අර්ථවත් දේවල් කියවන, අසන, නරඹන හා සාකච්ඡා කරන අය
බවට පත්විය යුතුය. දරුවන් අර්ථවත් දේවල් කියවන, අසන, නරඹන හා සාකච්ඡා
කරන අය බවට පත්වනු ඇත්තේ එවිටය. වර්තමාන දෙමාපියන් සාපේක්ෂ වශයෙන්
උගත්ය. එහෙත් ඔවුන් අවිවේචනාත්මකව අනුගතවී සිටින ජනප‍්‍රිය සංස්කෘතික රැල්ල
ඔවුන්ගේ උගත්කමට ගැළපෙන්නේ නැත. දෙමාපියන් එම නිසරු රැල්ලේ ඉඳිමින් සිය
දරුවන් සරු දරුවන් බවට පත් කළ නොහැකිය.
අසිරිමත් මොළය
සතුන් අතර සිටින එක් සතුන් විශේෂයක් පමණක් මිනිසුන් ලෙස සලකා අන් සියලූ
සතුන් තිරිසනුන් ලෙස සලකනුයේ මිනිසුන්ට පමණක් වඩා දියුණු මොළයක් තිබෙන නිසා
පමණක් නොව, ඒ මොළය නිසා හොඳ නරක හා යුක්තිය අයුක්තිය තේරුම් ගෙන
බුද්ධිමත්ව හා නිර්මාණශීලීව ක‍්‍රියාකිරීමේ හැකියාව තිබෙන්නේ මිනිසුන්ට පමණක්
නිසාය. මිනිසුන්ගේ මොළය සතුන්ගේ මොළයට වඩා වෙනස්වන්නේ මිනිස් මොළයේ EQ
(බුද්ධි) මට්ටම වෙනත් සතුන්ට වඩා ඉහළ මට්ටමක තිබෙන නිසා පමණක් නොව හරි
වරද යුක්තිය අයුක්තිය සැලකිල්ලට ගෙන නිර්මාණශීලී ලෙස ක‍්‍රියාකිරීමේ හැකියාව සහිත
දියුණු මට්ටමක ඒ මොළය තිබෙන නිසාය.
මිනිසාගේ සියලූ ක‍්‍රියාකාරකම්වල මෙහෙයුම් මධ්‍යස්ථානය ලෙස ක‍්‍රියාකරන මොළය විද්‍යුත්
පරිගණකයට වඩා දියුණු ඉතා සියුම් ජීව විද්‍යාත්මක පරිගණකයක් ලෙස සැලකිය හැකිය.
එය දෙපාර්තමේන්තු විශාල සංඛ්‍යාවකින්ද රැ හැන්ගත කළ නියුරෝන බිලියන
ගණනකින්ද යුතුය. එයට අවට සිදුවන දේවල් (රූප, සංඥා, නාද, ගඳ-සුවඳ,
ආර්ද්‍රතාව පමණක් නොව හොඳ නරක හා යුක්තිය අයුක්තියද) මනාව ග‍්‍රහණය
කරගැනීමේ හැකියාව තිබෙනවා සේ ම නැවත ඒ කෙරෙහි දැක්විය යුතු ප‍්‍රතිචාරයන්
අවශ්‍ය ඉඳුරන්ට වහාම දැනුම්දීමේ හැකියාවද එය සතුය. මොළයට දේවල් ගබඩා කිරීමේ
හැකියාව සේ ම එසේ ගබඩා කොට ගන්නා දේවල් අතර තිබෙන අනවශ්‍ය දේවල් ඉවත්
කිරීමේ සේ ම තිබෙන තොරතුරු සංස්ලේෂණය කිරීමේ හා විශ්ලේෂණය කිරීමේ
හැකියාවද තිබේ. විද්‍යාඥයන් කිසියම් විශාල ප‍්‍රමාණයකට මොළය තේරුම් ගැනීමට
සමත්ව ඇතත් ඔවුන්ගේ මතය අනුව තේරුම් නොගෙන තිබෙන ප‍්‍රමාණය තේරුම් ගෙන
තිබෙන ප‍්‍රමාණයට වඩා වැඩිය. මිනිසුන්ගේ පවුල් ජීවිතය හා මොළය අතරද
සම්බන්ධයක් පවතී. දිගු කලක් පවතින පවුල් ඒකකයක් මිනිසාට පමණක් අවශ්‍ය වූයේ
මිනිස් දරුවන්ට දීර්ඝකාලීන ළමා කාලයක් තිබීම නිසාය. දීර්ඝකාලීන ළමා කාලය
මිනිසුන්ට පමණක් හිමි මොළයේ විශේෂ අතුරු ඵලයකි. ළමා කාලය ලෙස
සැලකෙනුයේ මොළයේ වර්ධනය සඳහා අවශ්‍ය කාලයයි. ඒ දීර්ඝ කාලය තුළ දරුවන්ට
දෙමාපිය රැ කවරණය සේ ම සෙනෙහසද අත්‍යවශ්‍යය. මිනිසුන්ට පමණක් දීර්ඝ පවුල්
ජීවිතයක් ලැබී තිබෙන්නේ එම අත්‍යවශ්‍ය කොන්දේසිය සම්පූර්ණ කිරීම සඳහාය.
දරුවකුගේ මොළය වේගයෙන් වර්ධනය වන කාලය ලෙස සැලකෙන්නේ මාස හතරේ
සිට අවුරුදු දෙක දක්වා අතර කාලයේදීය. උපදින අවස්ථාව වනවිට බිළිඳු දරුවකුගේ
මොළය සංවර්ධනය වී තිබෙන ප‍්‍රමාණය සීයට 25කි. හයවැනි මාසයේදී එය සීයට 50
දක්වා වර්ධනය වේ. වසර තුනේදී එය සීයට 75 දක්වාත් වසර පහේදී සීයට 90
දක්වාත් වර්ධනය වේ. ඉතිරි සීයට 10 වර්ධනය වන්නේ වසර 14 දක්වා වන වසර
අටේදීය.
සියලූම සත්ව දෙමාපියන් පැටවුන් බලාගන්නේ ඔවුන්ගේ මොළය අවසාන වශයෙන්
වර්ධනය වන අවස්ථාව තෙක් පමණය. ඒ සමග පැටවුන් දෙමාපියන්ගෙන් වෙන් වේ.
මේ රීතිය අනුව මිනිසුන් සිය දරුවන් පවුලෙන් වයස අවුරුදු 15දී පමණ ඉවත් කළයුතු
වුවද සාමාන්‍යයෙන් එය එසේ සිදුවන්නේ නැත. නිල අධ්‍යාපනය සම්පූර්ණ කර
නොතිබීම වැනි විවිධ හේතු නිසා ලිංගික අතින් වැඩිහිටියකුගේ තත්ත්වයට පත්ව සිටියද
ඔවුහු තවත් අවුරුදු ගණනාවක් දෙමාපියන් මත බාලයන් ලෙස යැපෙන්නෝය. එම
තත්ත්වය දරුවන් කෙරෙහි වන දෙමාපිය ආධිපත්‍යය වර්ධනය කරයි. මිනිස් දරුවා
විවාහවීමෙන් පසුද බිරිඳ හා දෙමාපියන් අතර දෝලනය වන කෙනකු බවට පත්වේ. එම
තත්ත්වය දරුවාගේ පවුල් ජීවිතයේ ගැටුම් ඇති කරන බලවත් සාධකයක් ලෙස ක‍්‍රියාකළ
හැකිය.
සාමාන්‍යයෙන් දෙමාපියන් සිය දරුවන්ගේ ශරීර සෞඛ්‍යය හා පෝෂණය ගැන උනන්දුවක්
දක්වතත් මානසික සෞඛ්‍යය හා පෝෂණය ගැන නිසි උනන්දුවක් දක්වන බවක්
පෙනෙන්නට නැත. මිනිසා පිළිබඳ ප‍්‍රශ්නයේදී අන් සියලූ දේට වඩා ප‍්‍රධාන වන්නේ
බුද්ධියයි. දරුවන් හැදීමේදී සැලකිල්ලට ගතයුතු ප‍්‍රධානම කරුණ බවට පත්කරගත
යුත්තේද එයයි. දරුවන් බුද්ධිමය වැදගත්කමකින් යුතුය. කුඩා කාලයේදී හැම දරුවකුම
විද්‍යාඥයකුට සමානය. කුතුහලය හා ගවේෂණයට තිබෙන උනන්දුව කුඩා දරුවන්ට
ආවේණික නෛසර්ගික ගුණයක් ලෙස සැලකිය හැකිය. හැම විද්‍යාත්මක
සොයාගැනීමකම වින්නඹු අම්මා ලෙස ක‍්‍රියාකරන්නේ කුඩා දරුවන් තුළ පවත්නා එම
නෛසර්ගික ගුණයයි. දරුවන්ගේ බුද්ධියට විශේෂ වැදගත්කමක් ලැබිය යුතුයැ යි
පිළිගන්නේ නම් එම දරුවන් හදන ගෙදර පරිසරය ඊට ගැළපෙන ලෙස සකස් කිරීමට
දෙමාපියන්ගේ යුතුකමක් හා වගකීමක් ලෙස සැලකිය හැකිය. මෙම මාතෘකාව අර්ථවත්
සාකච්ඡාවකට ලක්කිරීමට යොදාගත හැකි ලෝක ප‍්‍රකට අත්හදා බැලීමක් මෙසේය.
ජෝන් ස්ටුවර්ට් මිල්
ජෝන් ස්ටුවර්ට් මිල් (1806-1873) බි‍්‍රතාන්‍ය දර්ශනවාදියකු සේ ම දේශපාලන අර්ථ
ශාස්ත‍්‍රඥයෙකි. ඔහු සැලකෙන්නේ 19 වැනි ශතවර්ෂයේ වැඩියෙන්ම දේශපාලනය
කෙරෙහි බලපෑ දාර්ශිනකයා ලෙසය. ඔහු ලිබරල් දේශපාලන දර්ශනයේ ප‍්‍රමුඛ
න්‍යායවාදියකු ලෙස සැලකේ.
ලිබරල්වාදයේ ආරම්භක චින්තකයා ලෙස සැලකෙන්නේ ජෝන් ලොක් (1632-
1704)ය. රාජාණ්ඩු ක‍්‍රමයට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදී විකල්ප රාජ්‍ය ක‍්‍රමයක් සඳහා වන
ඉදිරි දර්ශනයක් ඔහු ඉදිරිපත් කළේය. ඔහුට අනුව රාජ්‍ය බලයේ ප‍්‍රභවය සමාජය වේ.
ඒ නිසා රාජ්‍ය පාලකයන් අවසාන වශයෙන් සමාජයේ කැමැත්තට හා පාලනයට යටත්ය.
ආණ්ඩුවට සුජාතභාවය ලැබෙන්නේ මහජනයාගෙනි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මහජනයා
ආණ්ඩු බලයට අවනත වේ. එවිට පාලකයන්ගේ පැත්තෙන් සිදුවිය යුත්තේ මනුෂ්‍යයන්ගේ
ජීවිතය, නිදහස හා පුද්ගලික දේපළවල ආරක්ෂාව සහතික කරමින් ස්වාභාවික නීතියේ
සීමාවන් ඇතුළත ආණ්ඩු බලය ක‍්‍රියාත්මක කිරීමය. පාලකයන් එම කොන්දේසිය
උල්ලංඝනය කරයි නම් පාලකයන්ට විරුද්ධව කැරලි ගැසීමේ අයිතිය මහජනයා සතුය.
එහෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් තුළ පවා පුද්ගල නිදහස උල්ලංඝනය වීමට තිබෙන ඉඩ
ප‍්‍රංශ දේශපාලන චින්තකයකු වූ ඇලෙක්සියස් ද කොක්විල් (1805-1895) ගේ
අවධානය යොමුවිය. පාලනය බහුතරයේ කැමැත්ත වන විට ඒ මගින් සුළුතරය නිහඬ
කිරීමේ හැකියාවක් බහුතරයට ලැබෙන බව ඔහුගේ මතය විය. ඒ මගින් බහුතරයේ
අදහස් හා මති මතාන්තර සමග එකඟ නොවන අය මත ඒවා බලහත්කාරයෙන් පැටවීමේ
බලයක් බහුතර පාලනයට ලැබීම මගින් ප‍්‍රජා පීඩනයක් ඇතිවන බව ඔහු කීවේය.
මෙම සංකීර්ණ ප‍්‍රශ්නයට සුදුසු විසඳුමක් ඉදිරිපත් කළ න්‍යායවාදියා වන්නේ ජෝන්
ස්ටුවර්ට් මිල්ය. ඔහු 1859දී පළ කළ On Liberty (නිදහස ගැන) නමැති
කෘතියෙන් එම ගැටලූව විභාග කරමින් බහුතර බලයක් තුළ සුළුතරය පීඩනයට පත්වන
තත්ත්වයක් වැළකීම සඳහා සියලූදෙනාගේ පුද්ගලික නිදහස ආරක්ෂා වන පරිදි, පුද්ගල
නිදහස හා බහුතරය නියෝජනය කරන ආණ්ඩුවේ අධිකාරිය අතර තුල්‍යතාවක් ඇති කර
ගැනීම සඳහා දේශපාලන අයිතිවාසිකම්වලට අමතරව සිවිල් අයිතිවාසිකම් සහතික කිරීමේ
අවශ්‍යතාව අවධාරණය කළේය. අද මූලික අයිතිවාසිකම් ලෙස සැලකෙන සිවිල්
අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රශ්නය ලිබරල් දේශපාලන න්‍යාය පත‍්‍රයේ කේන්ද්‍රයට ගෙනා
පුද්ගලයා ඔහුය. ඔහුට අනුව හොඳ ජීවිතයක් යනු කුමක්දැ යි තීරණය කරගෙන ඒ
අනුව ජීවත්වීමේ නිදහස සියලූ පුද්ගලයන් සතු අයිතියකි. රජය හෝ සමාජය මැදිහත්විය
යුත්තේ පුද්ගලයාගේ එම ක‍්‍රියාකාරීත්වයෙන් අන්‍යයන්ට හානියක් සිදුවේ නම් පමණය.
ඉන් පිටත ක්ෂේත‍්‍රවල පුද්ගල නිදහසට ඇඟිලි ගැසීමට රජයට හෝ සමාජයට අයිතියක්
නැත.
අප දරුවන්ගේ අධ්‍යාපනයට අදාළව කෙරෙන මෙම විමර්ශනයේදී ජෝන් ස්ටුවර්ට් මිල්
අපට වැදගත් වනුයේ මිල් සමාජ දේශපාලනය කෙරෙහි බලපෑ දැවැන්ත පුද්ගලයකු
වුවත් ඔහු නිල පාසල් අධ්‍යාපන ක‍්‍රමයෙන් පරිබාහිරව ඔහුගේ දෙමාපියන් විසින් කරන
ලද අත්හදා බැලීමේ ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයක් වශයෙන් බිහිවූ විශිෂ්ට පුද්ගලයකු වීම
නිසාය.
මිල්ගේ පියාද (ජේම්ස් ස්ටුවර්ට් මිල්) දාර්ශනිකයෙක්, ඉතිහාසඥයෙක් හා අර්ථ
ශාස්ත‍්‍රඥයෙක් විය. ඔහුගේ බිරිඳ ද උගත් කාන්තාවක් විය. සිය වැඩිමහල් පුත් ජෝන්
නිල අධ්‍යාපනයෙන් බැහැර කොට ගෙදරදී ජෝන්ගේද උත්සාහය ඔස්සේ ලබාදෙන
අධ්‍යාපනයක් මගින් ඔහු විශිෂ්ටයකු බවට පත්කිරීම පියාට අවශ්‍ය විය. එම ව්‍යාපෘතිය
මවගේ ද අනුමැතිය ඇතිව එකල යුරෝපයේ දාර්ශනික රැ ඩිකල්වාදයේ ප‍්‍රධානියා ලෙස
සැලකුණු ජෙරම් බෙන්තම්ගේද සහාය ඇතිව ක‍්‍රියාවට නගන ලද විශේෂ ව්‍යාපෘතියක්
විය.
ජෝන් පවුලේ වැඩිමහල් දරුවා විය. ඔහුගේ නිල පාසල් අධ්‍යාපනයක් ලබා
නොදුන්නේය. තරුණ කාලය තෙක් සියලූ අධ්‍යාපන කටයුතු සිදුකෙරුණේ නිවසේදීය.
ඔහුගේ ප‍්‍රධාන ගුරුවරයා වූයේ ඔහුගේ පියාය. පවුලේ බාල සහෝදර සහෝදරියන් හැර
ජෝන්ගේ සම වයසේ පිටස්තරයන් ඇසුරු කිරීමට ඔහුට ඉඩ නොදෙන ලදි. පවුලේ
සාමාජිකයන් හැරුණු විට ඔහු ඇසුරු කළේ පියාගේ සම වයසේ මිතුරන්ය. ඒ සියලූදෙනා
උගත් නාමධාරී වැඩිහිටි පුද්ගලයෝ වූහ.
ජෝන් ග‍්‍රීක භාෂාව ඉගෙන ගත්තේ වයස අවුරුදු තුනේදීය. අවුරුදු 8 වන විට ග‍්‍රීක
භාෂාවෙන් පළවී තිබුණු සම්භාව්‍ය කෘති ගණනාවක්ද ප්ලේටෝගේ සංවාද හයක්ද ග‍්‍රීක
භාෂාවෙන් කියවා තිබුණි. ඒ සමග ඉංග‍්‍රීසි භාෂාවෙන් ඉතිහාස පොත් ද ගණිතයද හදාරා
තිබුණි.
අවුරුදු අටේදී ලතින් භාෂාව ඉගෙන ගනිමින් යූක්ලීඞ්ද, වීජ ගණිතයද, ලතින් භාෂාවෙන්
ඉගෙන ගත්තේය. ඒ සමග ඔහු ඔහුගේ පවුලේ බාල සහෝදර සහෝදරියන්ගේ නිල
ගුරුවරයා බවටද පත්විය. ඒ සමග ලතින් හා ග‍්‍රීක් භාෂාවෙන් පළවී තිබුණු වැදගත්
කොට සැලකුණු සියලූ පොත් කියවීය. ඒ සමග කාව්‍යකරණයද ඉගෙන ගත්තේය.
ස්වාභාවික විද්‍යාව ගැන ලියවුණු පොත් සේ ම ජනප‍්‍රිය නවකතාද කියවීය.
වයස අවුරුදු 12දී තර්ක ශාස්ත‍්‍රය හැදෑරීය. ඔහු විසින් ඇරිස්ටෝටල්ගේ තර්ක ශාස්ත‍්‍රය
පිළිබඳ පොත් කියවනු ලැබුවේ ඒවා ලියවුණු මුල් බසිනි. 13 වැනි වියේදී ඔහුට
දේශපාලන අර්ථ ශාස්ත‍්‍රය හඳුන්වා දෙන ලදි. ඔහුට ඇඩම් ස්මිත් (Adam Smith) හා
ඬේවිඞ් රිකාඩෝ (David Ricardo) ගේ මූලධර්ම කියාදෙන ලද්දේ පියා විසිනි.
ඬේවිඞ් රිකාඩෝ, පියාගේ සමීප මිත‍්‍රයකු වීම හේතු කොටගෙන විටින් විට රිකාඩෝ
හමුවී දේශපාලන අර්ථ ශාස්ත‍්‍රය ගැන ඔහු සමග සාකච්ඡා කිරීමේ හැකියාවද ජෝන්ට
ලැබුණි.
අවුරුදු 14දී ජෝන් ප‍්‍රංශයට ගොස් ජෙරමි බෙන්තම්ගේ සහෝදරයාගේ නිවසේ වසරක්
ගත කළේය. ඒ සමග ඔහු එහිදී රසායන විද්‍යාව, සත්ව විද්‍යාව හා තවදුරටත් තර්ක
ශාස්ත‍්‍රය ද හැදෑරීය. ඒ සමග උසස් ගණිත පාඨමාලාවකටද සහභාගි විය. ඔහුගේ මෙම
දෘඪ අධ්‍යාපන ක‍්‍රියාවලිය විසිහැවිරිදි වියේදී ඔහුගේ ස්නායු ක‍්‍රියාකාරීත්වයේ බිඳවැටීමක්
ඇති කිරීමට හේතුවිය. එහෙත් එම තත්ත්වයට නිර්භීතව හා බුද්ධිමත්ව මුහුණදෙමින්
ඉක්මනින් එය ජයගැනීමටද ඔහු සමත් විය.
ඔහු ඔක්ස්ෆර්ඞ් හා කේම්බි‍්‍රජ් යන විශ්වවිද්‍යාල දෙකේ අධ්‍යාපනය ලැබීම ප‍්‍රතික්ෂේප
කළේය. ඊට හේතුව ඇන්ග්ලිකන් නියමයන් පිළිපැදීමට ඔහු කැමති නොවීමය.
මිල්ගෙන් උගත හැකි පාඩම්
ජෝන්ගේ පියා සිය පුතා සම්බන්ධයෙන් කරන ලද අත්හදා බැලීම ලස්සන අත්හදා
බැලීමක් ලෙස පෙනී යා හැකිවුවත් එය සැලකිය යුත්තේ ඕනාවට වඩා දුරදිග ගිය
අත්හදා බැලීමක් ලෙසය. බර්ට‍්‍රම් රසල් ද ඒ ගැන ලියා ඇත්තේ ජෝන්ගේ පියා
දෝෂදර්ශනයට ලක් කැරෙන ආකාරයටය. ජෝන් බර්ට‍්‍රම් රසල්ගේ ඥාන පියාය.
ජෝන්ගේ පියාගේ උත්සාහය සාහසික උත්සාහයක් ලෙස සැලකිය හැකි වුවත් එය
මුළුමනින් අසාර්ථක උත්සාහයක් ලෙසද සැලකිය නොහැකිය. එහෙත් ජෝන්ගේ ස්නායු
ක‍්‍රියාකාරීත්වයේ ඇතිවූ බිඳවැටීම ජයගැනීමට ඔහු අසමත් වී නම් එම සමස්ත අත්හදා
බැලීම මහා ඛේදවාචකයක් වන්නට ඉඩ තිබුණි. ජේම්ස් ස්ටුවර්ට් මිල්ගේ අත්හදා බැලීම
විවේචනයට ලක් කරන බර්ට‍්‍රම් රසල් ද නිල අධ්‍යාපනයට එකතු කර තිබෙන්නේ වයස
අවුරුදු 10දීය. ළමා අධ්‍යාපනය ගැන බොහෝ දාර්ශනිකයන්ට විවිධ මත තිබුණි.
ප්ලේටෝට හා ඇරිස්ටෝටල්ටද ඒ ගැන මත තිබුණි. රූසෝද ඒ ගැන එමිල් නමින්
පොතක් ලීවේය. දරුවන් වයස අවුරුදු 12 තෙක් නිල අධ්‍යාපනයෙන් බැහැර කොට
ඔහුට ස්වභාව ධර්මය සමග කාලය ගෙවන්නට ඉඩදිය යුතු බව රූසෝ එම කෘතියෙන්
යෝජනා කරයි. දාර්ශනිකයකු වූ ජෝන්ගේ පියාටද ඒ ගැන වන විශේෂ මතයක් තිබුණු
බව පෙනේ. ඔහු අන් දාර්ශනිකයන්ට වෙනස්වන්නේ ඔහු සිය පවුලේ දරුවන් මුල්
කොටගෙන ඒ අදහස අත්හදා බැලීම නිසාය.
ජෝන් ස්ටුවර්ට් මිල් සම්බන්ධයෙන් ඔහුගේ පියා කරන ලද අත්හදා බැලීම සැර වැඩිවිය
හැකි වුවත් ඉන් අපටද ඉගෙන ගත හැකි වැදගත් පාඩමක් ඇත්තේය. කුඩා දරුවන්ට
නිවසේ බුද්ධිමය පරිසරයක් ඇති කරදීම මගින් දරුවන් යහපත්, ප‍්‍රඥාවන්ත හා සාර්ථක
පුද්ගලයන් බවට පත් කළ හැකි බව ඉන් අපට උගත හැකි පාඩම් වේ.
ජෝන්ට මෙන් කුඩා කාලයේ සිට ශ්‍රේෂ්ඨ මිනිසුන් ඇසුරු කිරීමේ පුළුවන්කමක් හෝ
හැකියාවක් අපේ දරුවන්ට නැතත් ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ චරිත කතා ඔවුන් ගැන ලියවුණු
හොඳ පොත්පත් ඔවුන්ට ලබාදීම මගින් අපේ දරුවන්ද ඔවුන්ගේ ගමේ හා පාසලේ
මිතුරන්ට අතිරේක වශයෙන් ලෝකයේ නාමධාරී ශ්‍රේෂ්ඨ මිනිසුන් ආධ්‍යාත්මික වශයෙන්
ඇසුරු කරන හා ඔවුන් හොඳින් දන්නා හඳුනන දරුවන් බවට පත් කළ හැකිය. එවිට
ධර්මාශෝක, මහා ඇලෙක්සැන්ඩර්, සොක‍්‍රටීස්, ගැලීලියෝ, අයිසෙක් නිව්ටන්, මයිකල්
ඇන්ජලෝ, රූසෝ, නැපෝලියන්, හෙගල්, චාල්ස් ඩිකන්ස්, නීෂේ, කාල් මාක්ස්,
ඒබ‍්‍රහම් ලින්කන්, ලියෝ ටෝල්ස්ටෝයි, මහත්මා ගාන්ධි, ලූතර් කිං වැනි මහා
පුරුෂයන් ඔවුන් හොඳින් දන්නා හඳුනන, ආධ්‍යාත්මික වශයෙන් ඔවුන්ගේ ඇසුරේ
හැදෙන වැඩෙන දරුවන් බවට පත් කළ හැකිය. ශ්‍රේෂ්ඨ මිනිසුන් ඒ ආකාරයෙන් හෝ
ඔබේ දරුවන් දැන හඳුනාගත් විට එය ඔවුන්ගේ ජීවිත කෙරෙහිද බලපායි. එවිට එම
දරුවන් පුංචියට නොව ලොකුවට හිතන පරමාදර්ශීය අරමුණු වෙනුවෙන් සිහින දකින
දරුවන් බවට පත්වනු ඇත්තේය.
දුප්පත් පොහොසත් භේදයකින් තොරව පුංචි දරුවන් සිටින හැම ගෙදරකම ඔවුන්ගේ
අමතර කියවීම් සඳහා තෝරාගත් හොඳ පොත් එකතුවක් පවත්වාගෙන යෑමට දෙමාපියන්
උත්සාහ කළ යුතුය. ඒ සඳහා යන යන වියදම කිසිසේත්ම විශාල නැත. මසකට පොත්
මහ ගොඩක් නොව හොඳ එක පොතක් මිලදී ගත හැකිය. හොඳ පොතක් මිලදී
ගන්නට යන වියදම මාළු 500ක් මිලදී ගැනීමට ගෙවන මිලට වැඩි නැත. එක පොතක්
පරම්පරා ගණනාවක් පාවිච්චි කළ හැකිය. මාගේ පොත් එකතුව මා හා මගේ බිරිඳට
අමතරව මගේ මවද, මගේ දරුවන්ද, පොත් කෙරෙහි උනන්දුවක් ඇති අසල්වැසියන්ද
ප‍්‍රයෝජනයට ගත්තේය. තවදුරටත් මාගේ දරුවන්ගේ දරුවන් පමණක් නොව ඔවුන්ගේ
දරුවන්ද ඒවා ප‍්‍රයෝජනයට ගනු ඇතැයි මම විශ්වාස කරමි. බොහෝ නිවෙස්වල විදුලි
හා විද්‍යුත් මෙවලම් ප‍්‍රදර්ශනයට තබා ඇති බවක් දැකිය හැකිය. ඒවා අතර
සාමාන්‍යයෙන් එදිනෙදා ප‍්‍රයෝජනයට නොගන්නා හුදෙක් නිවසට ගම්භිර පෙනුමක්
ලබාදීම සඳහා පමණක් මිලදී ගත් ඒවාද තිබිය හැකිය. හොඳ පොත්වලින් සමන්විත
පොත් රාක්කයක් නිවසට වඩා හොඳ ගම්භිර පෙනුමක් ලබාදෙනවාට අතිරේකව එය
නිවැසියන්ට ප‍්‍රඥාවද ලබාදෙන්නේය.