ravaya
83, පිළියන්දල පාර, මහරගම. දුරකථන: 2851672 / 2851673 කර්තෘ මණ්ඩලය: 2842064 බෙදාහැරීමේ අංශය: 2896330 ෆැක්ස්: 2851814 ඊමේල්: ravaya@gmail.com

කෙළවර කුමක්ද?

ආණ්ඩුවේ සමහර දඩබ්බර ක‍්‍රියා ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ හොඳ නම පමණක් නොව රටේ හොඳනමද කැත කරන්නට හේතුවී තිබේ. ආණ්ඩුවට ආණ්ඩුවේ හොඳ නම කැතකර ගැනීමේ අයිතියක් ඇතත්, රටේ හොඳ නම කැත කිරීමේ අයිතියක් නැත.

ඉතාමත්ම ඛේදජනක දේ වනුයේ රට විශාල ජාත්‍යන්තර අවුලක පැටලී සිටින අවස්ථාවකදී එය මුළුමනින් නොසලකා රටේ හොඳ නම කැත කිරීමට හේතුවන අවලස්සන දේවල් දිගින් දිගට සිදුවීමය.

තිරගත කැරුණු අලූත්ම රංගනය ලෙස සැලකිය හැක්කේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල පැහැරගැනීමේ සිද්ධියයි. එවැනි පැහැරගැනීමක් සිදුවී නැති බව ආරක්ෂක ලේකම්වරයා පුන පුනා කියා සිටියේය. කුමාර් ගුණරත්නම් කෙනෙකු ලංකාවට පැමිණ නැති බවද කීවේය. එහෙත් ගුණරත්නම් ඕස්ටේ‍්‍රලියානු පුරවැසියකු ලෙස සලකා ඕස්ටේ‍්‍රලියානු මහ ලේකම් කාර්යාලය ඔහුගේ ආරක්ෂාව සහතික කරන ලෙස බලවත් ලෙස ඉල්ලා සි...



පැහැරගෙන යන්නේ ආණ්ඩුව නොවේ නම් කවුරුද?

කේ. ඩබ්ලිව්. ජනරංජන [Sunday, April 22, 2012]

කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල පැහැරගෙනයෑම අතුරු දන්කිරීමක් දක්වා දීර්ඝ නොවුණේ ඕස්ටේ‍්‍රලියාවට ස්තූතිවන්නටය. ඕස්ටේ‍්‍රලියානු මහකොමසාරිස් රොබින් මූඩි මහත්මිය, 7වැනිදා රාත‍්‍රියෙහි ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට දුන් දුරකථන ඇමතුමේ සිට දිගින් දිගටම මැදිහත් නොවන්නට කුමාර් සහ දිමුතුද, ලලිත් සහ කූගන් මෙන් ඉන්නේ කොහිදැ යි දන්නේ නැති දෙදෙනකු බවට පත්වන්නට හොඳටම ඉඩතිබිණි.

සියලූ මාධ්‍යවල වටිනාම ඉඩ අල්ලාගත් මේ පැහැරගෙනයෑම හා නිදහස්වීම පිළිබඳ සිද්ධියේදී බොහෝ ප‍්‍රශ්න සාකච්ඡාවට ගන්නට ඒ ඒ මාධ්‍යත් ආණ්ඩුවේ විවිධ අංශත් යුහුසුළු වී තිබුණි. කුමාර් ගුණරත්නම් යනු කවරෙක්ද? ජවිපෙ තුළ ඔහුගේ ඉතිහාසය කුමක්ද? ඔහු නම් කිහිපයක් භාවිත කළේ ඇයි? ඔහුගේ බිරිඳ මීට පෙර කටුනායක ගුවන්තොටුපළේදී ප‍්‍රශ්නකිරීම්වලට ලක්වූ අවස්ථාවේදී, 2006 නොවැම්බර් 7වැනිදා සිට කුමාර් සමග කිසිම සම්බන්ධයක් නැති බව කීවේ ඇයි? කුමාර් ලංකාවේදී වීසා අලූත් කරනොගත්තේ ඇයි? 7වැනිදා උදේ 4ට පමණ පැහැරගනු ලැබීමෙන් පසු පොලිසියට පැමිණිල්ලක් කරන්නට පැය 12ක් ගතකළේ ඇයි? අපේ‍්‍රල් 6වැනිදා සවස 8ට පමණ පැහැරගත් දිමුතු ආටිගල ගැන පොලිසියට පැමිණිල්ලක් කරන්නට 7වැනි දිනසවස 3.35 වනතෙක් ගතකළේ ඇයි? කුමාර් අඩක් නිම කළ නිවසක ඉහළ මාලයේ කාමරයක තනියෙන් සිටියේ ඇයි? ඕස්ටේ‍්‍රලියානු මහකොමසාරිස්වරිය ළඟ කුමාර්ගේ ගමන් බලපත‍්‍රය තිබුණේ කෙසේද? කුමාර් ඔස්ටේ‍්‍රලියාවට යන්නට කැමැත්ත පළකළේ ඇයි? එවැනි ප‍්‍රශ්න ගණනාවකි.

මේ බොහෝ අයට හසුනොවුණු හෝ වුවමනාවෙන් මඟහැරගිය ප‍්‍රකෝටියක් වටිනා ප‍්‍රශ්නය නම්, මේ නීති විරෝධී පැහැරගෙනයෑම් (හා තව පොඞ්ඩෙන් අතුරුදන්කිරීම) කරන්නේ කවුද? යන්නයි.

අතුරුදන් කිරීම

කුමාර් සහ දිමුතුගේ පැහැරගෙන යෑමෙන් පසු බොහෝ දෙනකුගේ ශිශිර නිද්‍රාව අවසන් වූවත් අතුරුදන් කිරීමේ පිළිවෙත ලංකාවේ පැරැණි දුෂ්සම්ප‍්‍රදායයකි. 1971, 86-89 වැනි ඈත කාල අතහැරියත් 2006 වසරෙන් ඇරඹෙන අවසාන යුද කාලපරිච්ඡෙදය තුළ පුද්ගලයන් පැහැරගෙන යෑම් හා අතුරුදන්කිරීම් සංඛ්‍යාත්මකව උච්චතම තත්ත්වයට පත්වූ බව රහසක් නොවේ. එහෙත් එහි තිබූ විශේෂ ලක්‍ෂණය වූයේ, දකුණු සමාජයේ අතළොස්සක් දෙනා හැරුණු විට සාතිශය බහුතරයකගේ අනුමැතිය ඒ පැහැරගැනීමේ හා අතුරුදන්කිරීමේ පිළිවෙතට ලැබීමයි. ඊට එක් හේතුවක් වූයේ එසේ අතුරුදන් කැරෙන්නේ සමාජයේ පොදු සතුරන් වූ දෙමළුන් නිසාය. දෙවැනිව, පැහැරගෙන යන්නේ ආණ්ඩුව විසින් හොඳට හොයාබලා, නියම ත‍්‍රස්තවාදීන් පමණයි, එහෙම නැතුව ත‍්‍රස්තවාදය පරාජය කරන්න බැහැ. යි ක්‍ෂමාලාපයක් දකුණ විසින්ම නිර්මාණය කැරගෙන තිබුණු නිසාය. දෛවයේ සරදමකට මෙන්, කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගලගේ දේශපාලන තිඹිරිගෙය වූ ජනතා විමුක්ති පෙරමුණද ඒ කාලයේ සිටියේ කවර කැළෑ නීතියෙන්් හෝ බෙදුම්වාදී ත‍්‍රස්තවාදියා පරාජය කිරිමේ සාරදර්ශනයෙහිය. එවක ජවිපෙහි ලංකා පුවත්පතේ සතිපතා මෙහෙයුම වූයේ ත‍්‍රස්තවාදී, දේශද්‍රෝහී ලේබල් අලවා එසේ අතුරුදන් කළයුත්තන් කලින් නම් කොට පෙරසූදානම් කොට තැබීමය.

පැහැරගෙන යෑම හා අතුරුදන් කිරීම , ත‍්‍රස්තවාදය නිට්ටාවට සුවකිරීමේ ප‍්‍රත්‍යක්‍ෂ එක් උපාය මාර්ගයක් බවට බෞතිස්ම කළ පොදු මහජනතාව සිතා සිටියේ, යුද්ධය අවසන් කළ පසු මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා උදාකරන යහපත් සමාජයකදී අතුරුදන්කිරීම්වලට තිත තැබෙනු ඇතැ යි කියාය. එහෙත් එසේ නොවීය. යුද්ධය නිමාවීමෙන් පසුද දෙමළ ජාතිකයන් තවදුරටත් අතුරුදන් කිරීම සමග, පාතාලයන්, කුඩු ජාවාරම්කාරයන් වැන්නවුන්ද පැහැරගෙන යන්නට, අතුරුදන් කරන්නට පටන් ගැනිණි. මාටින් නීමොලර්ගේ වටිනා කියමන වුවමනාවෙන්ම අමතක කළ රටේ මහජනතාව ඒ අවස්ථාවේදීද එය ඉතසිතින් අනුමත කළහ. උන් පරණ ත‍්‍රස්තවාදීන්, සමාජයට විනකරන්නන් හා පාදඩයන් නොවැෟ එහෙත්, පසුගිය අපේ‍්‍රල් 7වැනිදා වන විට ලංකාවේ ඉතිහාසයේ පළමුවරට, ප‍්‍රධාන ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන පෙරමුණක, ප‍්‍රධාන පෙළේ නායකයකු හා නායිකාවක පැහැරගෙන යන්නට (තව පොඞ්ඩෙන් අතුරුදන් කරන්නට) තරම් තත්ත්වය වර්ධනය වී තිබිණ.

ග‍්‍රව්න්ඞ් වීව්ස් වෙබ් අඩවිය කියන අන්දමට, 2012 පෙබරවාරි හා මාර්තු මාසවල සිදුවූවායැ යි මාධ්‍යවල පළවූ පැහැරගෙනයෑම් ගණන පමණක් 29කි. (එකක් පැහැරගැනීමට තැත්දැරීමකි.) පෙබරවාරියේ 15ක් සහ මාර්තුවේ 14ක් වශයෙනි. මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ලංකාව ලෝක අමාරුවක වැටුණු ජිනීවා මානව හිමිකම් සමුළුව පැවැත්වුණු පෙබරවාරි 27වැනිදා සිට මාර්තු 23 දක්වා සිදුවූ පැහැරගැනීම් හා අතුරුදන්කිරීම් ප‍්‍රමාණයද 19කි. පෙබරවාරි-මාර්තු අතුරුදන්කිරීම් 29න් 16ක්ම කොළඹ දිස්ත‍්‍රික්කයෙනි. 8ක් උතුරු පළාතෙනි. යුද්ධයක් නොපවතින, ත‍්‍රස්තවාදීන් විනාශ කළායැ යි සහතික කැරෙන, දෙවැනි නිදහස් යුගයේ සුව විඳින 2009 මැයි මාසයෙන් පසු කාලය සලකන විට මෙය ඉහළ රේට්ටුවකි. කුමාර් සහ දිමුතුගේ අතුරුදන් වීම වාර්තාවන්නේ මේ සිදුවීම් වැලෙහි දැනට අවසානය වශයෙනි.

මේ පැහැරගෙනයෑම්, අතුරුදන්කිරීම් කරන්නේ කවුද? කවුරු කෙසේ සුරංගනා කතා කීවත්, රට යන අත අනුව මේ පැහැරගෙන යෑම් හා අතුරුදන් කිරීම් කරන්නේ කවුද යන්න සාධාරණ බුද්ධියක් තිබෙන ඕනෑම කෙනකුට සහසුද්දෙන්ම තේරෙන්නේය. එහෙත්, ප‍්‍රබල ඍජු සාක්‍ෂි ලැබෙන තෙක් එය තේරුම්ගන්නට නොහැකි වුණු හෝ අකමැති වුණු පිරිසගේ හෘදය විදාරණයට පහත කරුණු සෑහෙන්නට පිළිවන.

උත්තර කිහිපයක්

කරන්නේ කවුද යන ප‍්‍රශ්නයට උත්තරය සිතාගත හැකි අහම්බයන් කිහිපයක් පසුගිය සති කිහිපය තුළ සිදුවුණි. ඒවාට අහම්බයන් කියන්නේ පැහැරගෙන යෑමේ හා අතුරුදන්කිරීමේ ක‍්‍රියාන්විතයේ තිරනාටකය ලියන්නා නොසිතූ ආකාරයට මේ සිදුවීම් අවසන්වූවායැ යි අප සිතන නිසාය.

පළමුවැන්න නම් 2012 මාර්තු 10වැනිදා, මහ දවාලේ කොළොන්නාවේ ප‍්‍රාදේශීය සභාපති රවීන්ද්‍ර උදයශාන්ත පැහැරගෙන යන්නට වෑන් එකකින් (එය සුදුද නැතිද යන්න වැදගත් නැත.) පිරිසක් පැමිණීමය. මේ පිරිස ගම්මුන් විසින් අල්ලාගෙන පොලිසියට භාරදෙන ලදහ. එහෙත්, පොලිසියේ රඳවා සිටිද්දී නියෝජ්‍ය පොලිස්පතිවරයකු පැමිණ මුදවාගෙන යන ලදහ. දැන් නඩුත් නැත. බඩුත් නැත. වෑන් එකේ සිටි රියැදුරාගේ පටන් සියල්ලන්ම හමුදා සාමාජිකයන් බව ඔවුන්ගේ මුහුණුවල ඡායාරූපද, වීඩියෝ රූපගතකිරීම්ද සමග දැන් මුළු රටම දනියි. ආණ්ඩුව ඒ වේලේ කීවේ, වෑන් එක සහ හමුදා නිලධාරීන් ආවේ පැනගිය හමුදා සෙබළකු අල්ලන්නට බවය.

දෙවැනි සිදුවීම, 2012 මාර්තු 26වැනිදා, ඇමති ජීවන් කුමාරතුංගගේ බිරිඳගේ සහෝදරයා වන, කලක් එක්සත් ජාතික පක්‍ෂයේ අවිස්සාවේල්ල සංවිධායකව හා පළාත් සභා මන්ත‍්‍රීවරයකුව සිට පසුව ඒ පක්‍ෂය හැරපියා රාජපක්‍ෂ ආණ්ඩුවට සහයෝගය දුන්, සාගර සේනාරත්න මහතා පැහැරගෙන යෑමය. සිය රථයේ රියැදුරු සමග ගමන් කරද්දී බලහත්කාරයෙන් වෙනත් වෑන් එකකට නංවාගෙන යනු ලැබූ ඔහු ගැන ඔහුගේ රියැදුරු වහාම කුමාරතුංග ඇමැතිවරයාට දැන්වීය. ඇමැතිවරයා ජනාධිපතිතුමාටද, ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාටද පැහැරගැනීම ගැන දැන්වූ බව කියනු ලැබේ. පැහැරගෙන ගිය පිරිසගෙන් ගැලවීමට හැකිවූ එකම සූත‍්‍රය, වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඔවුනට දුරකථන ඇමතුමක් ලැබීමය. තමාට ගැලැවීගත හැකිවූයේ ඒ උතුමන්ගේ මැදිහත්වීමෙන් බව සේනාරත්න මහතා අතිශය කෘතවේදීව මාධ්‍යවලට ප‍්‍රකාශකර තිබුණි.

තුන්වැනි සිදුවීම කුමාර්-දිමුතු පැහැරගැනීමය. ඒ සිදුවීම විමසුම් ඇසින් බලන කල තව දුරටත් පිළිතුර ලිහිල් වෙයි. කුමාර් ගුණරත්නම් කිරිබත්ගොඩ, ගැමුණු මාවතේ අංක 291 දරන නිවසේ නිදාසිටියදී ආයුධ සන්නද්ධ විස්සකට ආසන්න පිරිසක් විසින් ඩැහැගැනෙන්නේ අපේ‍්‍රල් 7වැනිදා අලූයමය. ආයුධ සන්නද්ධව පැමිණි පිරිස, අවට ගෙවල්වලට ගොස් විදුලිය නිවා නිවෙස් තුළට වී සිටින ලෙස නිවැසියන්ට අණකළ බවට ඇසූදුටු සාක්‍ෂි තිබේ. දිමුතු ආටිගල පැහැරගැනෙන්නේ අපේ‍්‍රල් 6වැනිදා රාත‍්‍රියේ ගොඩගම සිය නිවසට යමින් සිටියදී වෑන් එකකින් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් විසිනි. දෙදෙනාම තමන් පැහැරගත් අය අත ආයුධ තිබූ බව කියති. තමා පැහැරගත් පුද්ගලයන් අතර සමහරුනට සර් කියා ආමන්ත‍්‍රණය කරන ලද බව කුමාර් කියයි. පැහැරගත් වහාම දෙදෙනාගේම ඇස් බඳින ලද අතර අත්වලට සහ කකුල්වලට මාංචු ලන ලදි. දිමුතු, පළමුව වැඩි සද්දබද්ද නැති ස්ථානයක රඳවා තබා පසුව කාර්යබහුල, වාහන යන එන, කිසියම් සැලකියයුතු පිරිසක් කාර්යනියුතුව සිටින, සමහරුන් සමහරුනට සර් කියා අමතන, ඇය වැසිකිළියට යන විට කාන්තා රැකවලකු ආරක්‍ෂාවට යවන මහල් ගොඩනැගිල්ලකට ගෙනයන ලද බව ඈ කියයි. කුමාර් ගුණරත්න ඈට මුහුණට මුහුණ හමුවන්නේද එතැනදීය. එහිදී ඔවුන් දෙදෙනා වෙන වෙනම කී දේ එකට හගිස්සවනු ලැබේ.




Line
Sri Lanka