ravaya
83, පිළියන්දල පාර, මහරගම. දුරකථන: 2851672 / 2851673 කර්තෘ මණ්ඩලය: 2842064 බෙදාහැරීමේ අංශය: 2896330 ෆැක්ස්: 2851814 ඊමේල්: ravaya@gmail.com

අධිකරණය ගැන නැවතත්

දිසාවිනිසුරු අරවින්ද පෙරේරා ගැන අපි ගිය සතියේ ලීවෙමු. විනිසුරුවරයකුට අමතරව ව්‍යාපාරිකයකුද වන ඔහු බැංකු හා මූල්‍ය ආයතන ගණනාවකින් ලබාගත් ණය හා ණයපත්වලට අදාළ මුදල් නැවත නොගෙවීම නිසා ණය තොරතුරු කාර්යාංශයේ අසාධු ලේඛනගත පුද්ගලයකු ලෙස සිටිද්දීත් දිසා විනිසුරුවරයකු ලෙස කටයුතු කරන්නේ කෙසේදැයි ප‍්‍රශ්න කළෙමු. මේ ගැන පැමිණිලි අධිකරණ සේවා කොමිෂන් සභාවටද ලැබී තිබුණේය.

මේ සතිය වන විට දිසාවිනිසුරුවරයාගේ රාජකාරි කටයුතු අත්හිටුවා ඔහු ගැන පරීක්‍ෂණයක් කරන්නට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. එම පියවර යුක්තිය අගය කරන, පිරිසිදු හා ස්වාධීන අධිකරණයක් ඉල්ලා සිටින කොයිකාගේත් ප‍්‍රසාදයට හා ගෞරවයට පාත‍්‍රවන දෙයකි.

අධිකරණ බලය ජනතාවගේය. එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබාදී තිබෙන පරමාධිපත්‍ය බලතල පහෙන් එකකි. ජනතාවගේ එම අධිකරණ බලය රටේ අධි...



අධිකරණය ගැන නැවතත්

[Sunday, September 16, 2012]

දිසාවිනිසුරු අරවින්ද පෙරේරා ගැන අපි ගිය සතියේ ලීවෙමු. විනිසුරුවරයකුට අමතරව ව්‍යාපාරිකයකුද වන ඔහු බැංකු හා මූල්‍ය ආයතන ගණනාවකින් ලබාගත් ණය හා ණයපත්වලට අදාළ මුදල් නැවත නොගෙවීම නිසා ණය තොරතුරු කාර්යාංශයේ අසාධු ලේඛනගත පුද්ගලයකු ලෙස සිටිද්දීත් දිසා විනිසුරුවරයකු ලෙස කටයුතු කරන්නේ කෙසේදැයි ප‍්‍රශ්න කළෙමු. මේ ගැන පැමිණිලි අධිකරණ සේවා කොමිෂන් සභාවටද ලැබී තිබුණේය.

මේ සතිය වන විට දිසාවිනිසුරුවරයාගේ රාජකාරි කටයුතු අත්හිටුවා ඔහු ගැන පරීක්‍ෂණයක් කරන්නට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. එම පියවර යුක්තිය අගය කරන, පිරිසිදු හා ස්වාධීන අධිකරණයක් ඉල්ලා සිටින කොයිකාගේත් ප‍්‍රසාදයට හා ගෞරවයට පාත‍්‍රවන දෙයකි.

අධිකරණ බලය ජනතාවගේය. එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබාදී තිබෙන පරමාධිපත්‍ය බලතල පහෙන් එකකි. ජනතාවගේ එම අධිකරණ බලය රටේ අධිකරණ පද්ධතිය මගින් ක‍්‍රියාත්මක කැරෙයි. කරදරයක්, අසාධාරණයක්, අයුක්තියක් සිදුවූ විට ලොකු කුඩා කාටත් යුක්තිය, සාධාරණය ඉල්ලා යන්නට ඇති එකම තැන අධිකරණයයි. ඒ නිසාම මිනිසුන්ට අධිකරණය යනු දෙවොලකි. ඒ දෙවොලෙහි සිටිය යුත්තේ පිරිසිදු දෙවියෙකි. දෙවියා පිරිසිදු වන්නේ, අගතීන්හි නොගැලී, අපචාරයන්හි නොයෙදී, ස්වාධීනව හා අපක්‍ෂපාතීව සිටින තරමටය. ඒ නිසා අධිකරණ ස්වාධීනත්වයෙහි එක් වැදගත් කොටසක් වන්නේ විනිසුරුවරුන්ගේ සුපිළිපන්භාවයයි.

විශේෂයෙන් රටේ විධායකය හා ව්‍යවස්ථාදායකය ව්‍යුහයෙන්ම එකට මුහුවී කටයුතු කරන පසුබිමක, ව්‍යවස්ථාදායකයෙන් හා විධායකයෙන් වන අකටයුතුකම් ගැන පරීක්‍ෂාවෙන් සිටිය හැකි එකම ආයතනය වන්නේද අධිකරණයයි. තමන් දෙස සුපරීක්‍ෂාවෙන් බලා සිටින අධිකරණය, වරදාන පිදීමෙන් හෝ බියගැන්වීමෙන් තමනට වුවමනා පරිදි නම්මවා ගැනීම විධායකය හා ව්‍යවස්ථාදායකය උත්සාහකිරීම නිරන්තරයෙන් බලාපොරොත්තු විය හැකි දෙයකි. එහෙත්, එම වරදානයන්ට හා බියගැන්වීම්වලට යටත් නොවී මහජනතාවගේ අධිකරණ බලය නිසි පරිදි ක‍්‍රියාවට නැංවීම රටේ යුක්තිය අගයන සියලූ දෙනා අධිකරණයෙන් බලාපොරාත්තු වන භූමිකාවයි.

අධිකරණය ගැන මේ තරම් කතාකරන්නට සිදුවී තිබෙන්නේ පසුගිය කාලයේ එම පද්ධතියේ සිදුවූ අමිහිරි, ලජ්ජාසහගත දේ ගැන අත්දැකීම් පුරවැසි සියල්ලන්ටම තිබෙන නිසාය. එම විනාශයෙන් අධිකරණය නැවත ඔසොවා තැබීම පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා යුක්තිය පිළිබඳ අත්‍යන්ත කැපවීමක්ද, වරදාන හෝ බියගැන්වීම්වලට යටත් නොවී සිටීමේ ඍජු ගුණයක්ද අධිකරණයට තිබිය යුතුය. කවර අඩුපාඩුකම් මධ්‍යයේ වුවද දැන් දැන් සිදුවෙමින් පවතින සමහර දේ විසින් අධිකරණය කිසියම් ආකාරයකින් ස්වාධීනත්වයේ, අපක්‍ෂපාතීභාවයේ හා සුපිළිපන්භාවයේ මගෙහි යළි ඔසොවා තැබෙන්නේයැයි බලාපොරොත්තු දල්වාගත හැකි තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින්නේය.

ලංකාවේ විනිසුරුවරුන් පත්කැරෙන්නේ විධායකය විසින් බව සැබැවි. එහෙත්, පත්වීම් ලද පසුව, යුක්තිය හා සාධාරණය වෙනුවෙන් පෙනීසිටීම සඳහා එම පත්කැරෙන ක‍්‍රමය බාධාවක් නොවේ. හිටපු අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතා ගැන ඉතිහාසය කතාකරන්නේ, ඔහු ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ හිතමිතුරකු වූ නිසා අගවිනිසුරු හැටියට පත්වූවකු ලෙස නොවේ. හිතවත්කම නිසාම පත්වූවද, ඊට නොනැමී අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් හා යුක්තිය සාධාරණය වෙනුවෙන් කටයුතු කොට, අවසානයේ ජනාධිපති ජයවර්ධනගේ පාර්ලිමේන්තුව විසින්ම ධුරයෙන් පහකිරීමේ යෝජනාවකටද බඳුන්කරන ලැබ සිටියදීත් කොන්ද කෙලින් තබාගෙන විශ‍්‍රාම ගිය අගවිනිසුරුවරයකු ලෙසය.

දැන් නැවත වාරයක් එවැනි ආදර්ශ අවශ්‍ය වී තිබෙන ලංකාවක අපි වාසය කරමු. ඉහළ අධිකරණ එමගෙහි යයි නම්, පහළ අධිකරණ විනිසුරුවරුන්ටද බියක් සැකක් නැතිව යුක්තිය සාධාරණය වෙනුවෙන් පක්‍ෂපාතී වන්නටත් දේශපාලන හෝ වෙනත් හේතු මත අසාධාරණය වෙනුවෙන් කිසිසේත් පක්‍ෂපාත නොවන්නටත් ගෞරවයක්, ධෛර්යයක් හා ආත්ම විශ්වාසයක් ලැබෙනු ඇත්තේය.




Line
Sri Lanka