ravaya
83, පිළියන්දල පාර, මහරගම. දුරකථන: 2851672 / 2851673 කර්තෘ මණ්ඩලය: 2842064 බෙදාහැරීමේ අංශය: 2896330 ෆැක්ස්: 2851814 ඊමේල්: ravaya@gmail.com

අධිකරණයේ කළු පැල්ලම්

යුක්තිය ඉල්ලා අධිකරණය ඉදිරියට කිසිවකු යායුත්තේ පිරිසිදු අත් ඇතිවයැ යි මූලධර්මයක් තිබේ. තමාද වරදක් කොට, ඊට වඩා වැඩි හෝ අඩු හෝ වරදක් කළ අයකුට එරෙහිව දඬුවම් ඉල්ලන්නට කිසිවකුට අයිතියක් නැත යන්න එහි ප‍්‍රායෝගික අර්ථයයි. මෙසේ පිරිසිදු අතින් අධිකරණයට එන තැනැත්තාගේ ආයාචනය විභාග කරන්නට නම් අධිකරණයේ සිටිය යුත්තේද පිරිසිදු අයෙකි. ඒ නිසා අධිකරණ විනිසුරන් ලෙස හොරුන්, වංචාකාරයන්, දේශපාලන ගැත්තන් හෝ දූෂකයන් සිටිය නොහැකිය. එවැනි පුද්ගලයන් අධිකරණ සේවයට එක්නොකර ගැනීමේ හෝ අධිකරණ සේවයෙන් ඉවත්කොට තැබීමේ වගකීම ඇත්තේ ජනාධිපතිවරයාටත්, පාර්ලිමේන්තුවටත්, අධිකරණ සේවා කොමිෂන් සභාවටත්ය.

හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා චේතනාන්විතවම රටේ අධිකරණ පද්ධතිය දූෂණයේ, පක්‍ෂග‍්‍රාහීභාවයේ හා හිතුවක්කාරකමේ අගාධය දෙසට ඇදගෙන ගියේය. අධිකරණයෙන් යුක්තිය පතාගෙන එන අහිංස...



අධිකරණයේ කළු පැල්ලම්

[Sunday, September 9, 2012]

යුක්තිය ඉල්ලා අධිකරණය ඉදිරියට කිසිවකු යායුත්තේ පිරිසිදු අත් ඇතිවයැ යි මූලධර්මයක් තිබේ. තමාද වරදක් කොට, ඊට වඩා වැඩි හෝ අඩු හෝ වරදක් කළ අයකුට එරෙහිව දඬුවම් ඉල්ලන්නට කිසිවකුට අයිතියක් නැත යන්න එහි ප‍්‍රායෝගික අර්ථයයි. මෙසේ පිරිසිදු අතින් අධිකරණයට එන තැනැත්තාගේ ආයාචනය විභාග කරන්නට නම් අධිකරණයේ සිටිය යුත්තේද පිරිසිදු අයෙකි. ඒ නිසා අධිකරණ විනිසුරන් ලෙස හොරුන්, වංචාකාරයන්, දේශපාලන ගැත්තන් හෝ දූෂකයන් සිටිය නොහැකිය. එවැනි පුද්ගලයන් අධිකරණ සේවයට එක්නොකර ගැනීමේ හෝ අධිකරණ සේවයෙන් ඉවත්කොට තැබීමේ වගකීම ඇත්තේ ජනාධිපතිවරයාටත්, පාර්ලිමේන්තුවටත්, අධිකරණ සේවා කොමිෂන් සභාවටත්ය.

හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා චේතනාන්විතවම රටේ අධිකරණ පද්ධතිය දූෂණයේ, පක්‍ෂග‍්‍රාහීභාවයේ හා හිතුවක්කාරකමේ අගාධය දෙසට ඇදගෙන ගියේය. අධිකරණයෙන් යුක්තිය පතාගෙන එන අහිංසකයන්ට හිරේ ලැගීමට සිදුවන තරමට අධිකරණය ඒ කාලයේ යුක්ති ධර්මයෙන් ඈත්ව ගියේය. ඔහු එය කළේ තනිවම නොවේ. තමාට උදව්කරන, තම අණ අනුව ක‍්‍රියාත්මක වන අන්තේවාසිකයන් ලෙස කටයුතු කරන අධිකරණ නිලධාරීන් පිරිසක් හෙවත් විනිශ්චයකරුවන් පිරිසක්ද තමා වටා රඳවාගෙනය. මේ විනිශ්චයකරුවෝ දූෂිත අගවිනිසුරුවරයාගේ බෝධිපූජා පිංකම්, භාවනා හා ආගමික වැඩසටහන්වල සංවිධායකයෝය. අනුග‍්‍රාහකයෝය. ඔහුගේ සකලවිධ අපචාරයන්හි ආරක්‍ෂකයෝය. ඊට ප‍්‍රත්‍යුපකාර ලෙස සුදුසුකම් නැති බඳවාගැනීම්ද, රිසි පරිදි උසස්වීම්ද, අවශ්‍ය තැනට ස්ථාන මාරුවීම්ද, ස්ත‍්‍රී දූෂණයන් හා සිය බලය අනිසි ලෙස යොදාගෙන කළ වෙනත් වැරදිවලදී ආරක්‍ෂාවද මේ විනිසුරුවරුන්ට අගවිනිසුරුවරයාගෙන් නොමඳව ලැබිණි.

දැන් සරත් එන් සිල්වා අධිකරණයේ නැත. ඔහු අධිකරණයට කළ විනාශය මුළුමනින්ම ආපසු හැරවීමට ඔහුගෙන් පසු පත්වූ අගවිනිසුරුවරුන්ටද තවමත් පූර්ණ හැකියාවක් ලැබී නැත. හිටපු අගවිනිසුරු අසෝක ද සිල්වා සිය කීර්තිමත් වෘත්තිය අවසන් කළේ ජනාධිපති උපදේශකයකු බවට පල්ලම් බැහීමෙනි. එහෙත් වත්මන් අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක විනිසුරුවරුන් අතළොස්සක්ද සමග මේ නරාවළෙන් අධිකරණය ගොඩගැනීමේ යම් ධනාත්මක කාර්යභාරයක නියැළී සිටිනවා මේ කාලයේ සුබදායක ලෙස නිරීක්‍ෂණය කළ හැකිය. එය මේ රටේ යුක්තිය ගරුකරන්නන්ගේ ගෞරවයට පාත‍්‍රවන ව්‍යායාමයකි.

එහෙත්, කළු පැල්ලම් තවම තිබේ. කොළඹ අතිරේක දිසා විනිසුරු අරවින්ද පෙරේරා ගැන තිබෙන චෝදනා ඊට උදාහරණය. ඔහු දිසා විනිසුරුවරයකුට අමතරව ව්‍යාපාරිකයෙකි. කළුතරට ආසන්න කර්මාන්ත කලාපයක පවත්වාගෙන යන ඔහුගේ කොහුබත් සැකසීමේ කර්මාන්තශාලාවක් සම්බන්ධයෙන් අවට කර්මාන්තකරුවන්ට ගැටලූ පැනනැගුණු අවස්ථාවලදී සිය විනිසුරු බලය පාවිච්චි කරමින් කටයුතු කළ ආකාරය ගැන රාවය මීට ඉහත වාර්තා කළේය. දැන් රටේ ප‍්‍රසිද්ධ බැංකු හා මූල්‍ය ආයතන ගණනාවකින් ණය හා ණයපත් ලබාගෙන, ඒවාට නියමිත ආපසු ගෙවීම් නිසි පරිදි නොකිරීම ගැන චෝදනා රැසක් ඔහුට එල්ලවී තිබේ. ඔහු ගත් සමහර ණය අයකරගැනීමට නඩු පැවරීම හෝ ණය කපාහැරීම යන දෙකෙන් එකක් තෝරාගැනීමට සමහර බැංකුවලට සිදුවී තිබේ. ඔහු ණය තොරතුරු කාර්යාංශයේ (කි‍්‍රබ්) අසාධු ලේඛනගත පුද්ගලයෙකි. අධිකරණ සේවා කොමිෂන් සභාවටද ඔහු ගැන පැමිණිලි ලැබී ඇති බව එහි ලේකම්වරයා කියයි.

විනිසුරුවරයකුු ණය ගැනීම වරදක් නොවේ. එහෙත් ණය ගෙවීම පැහැරහැරීම වරදකි. එය වඩාත් බැරෑරුම් වන්නේ, සිය ණය ලබාගත් අය නැවත ගෙවීම පැහැරහැරි විට බැංකු හෝ මූල්‍ය ආයතන විසින් නඩු පවරනු ලැබිය යුත්තේද දිසා අධිකරණය ඉදිරියේ වීම නිසාය. කෙටියෙන් කිවහොත්, මේ දෙවොලේ දෙවියාගේ දේවත්වය පිළිබඳ ප‍්‍රශ්නයකි. අධිකරණයේ පිරිසිදුභාවය පිළිබඳ ප‍්‍රශ්නයකි.

ඒ ප‍්‍රශ්නය විභාග කළ යුත්තේ අධිකරණ සේවා කොමිෂන් සභාව විසිනි. අප කියන්නේ මේ චෝදනා ගැන විධිමත් පරීක්‍ෂණයක් පවත්වා ඔහු තවදුරටත් අධිකරණ සේවයේ තබාගන්නවාද නැද්ද යන්න තීරණය කළ යුතු බවය.




Line
Sri Lanka