ravaya
83, පිළියන්දල පාර, මහරගම. දුරකථන: 2851672 / 2851673 කර්තෘ මණ්ඩලය: 2842064 බෙදාහැරීමේ අංශය: 2896330 ෆැක්ස්: 2851814 ඊමේල්: ravaya@gmail.com

අපරාධ හා එල්ලූම්ගස ගැන

දැන් සැලකිය යුතු කාලයක සිට එල්ලූම්ගස ගැන විවිධ මාධ්‍ය වාර්තා පළවනු දක්නට ලැබෙයි. වරෙක, එල්ලූම්ගස ක‍්‍රියාත්මක කරන්නාගේ තනතුරට පත්වීම සඳහා සමාජයේ ඇති අධික ඉල්ලූම ගැන වාර්තා පළවෙයි. වරෙක, එහි මිනිසුන් එල්ලන කඹය ආනයනය කිරීම ගැන වාර්තා පළවෙයි. දැන් අලූතෙන්ම වාර්තා වන්නේ එල්ලූම්ගසේ ලෑලි පුවරු අලූත් ලෑලි යොදා ප‍්‍රතිසංස්කරණය කළ බවට බන්ධනාගාර කොමසාරිස්වරයා මාධ්‍යවලට කළ කරුණු දැක්වීමයි. පසුගිය පෙබරවාරියේ දැයට කිරුළ ප‍්‍රදර්ශනයේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් එල්ලූම්ගසේ ආකෘතියක්ද ප‍්‍රදර්ශනය කළ අතර, එහිදී කරන ලද ජනමත විමසුමකදී මත පළකළ පිරිසෙන් සියයට අසූවක් පමණ එල්ලූම්ගස නැවත ක‍්‍රියාත්මක කළ යුතුයැ යි අදහස්කළ බවද මාධ්‍ය වාර්තා කළේය. බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් දක්වන අධිකතර උනන්දුවෙන් පෙනෙන්නේ කවර මොහොතක හෝ රජය මරණ දඬුවම ...



අපරාධ හා එල්ලූම්ගස ගැන

[Sunday, August 12, 2012]

දැන් සැලකිය යුතු කාලයක සිට එල්ලූම්ගස ගැන විවිධ මාධ්‍ය වාර්තා පළවනු දක්නට ලැබෙයි. වරෙක, එල්ලූම්ගස ක‍්‍රියාත්මක කරන්නාගේ තනතුරට පත්වීම සඳහා සමාජයේ ඇති අධික ඉල්ලූම ගැන වාර්තා පළවෙයි. වරෙක, එහි මිනිසුන් එල්ලන කඹය ආනයනය කිරීම ගැන වාර්තා පළවෙයි. දැන් අලූතෙන්ම වාර්තා වන්නේ එල්ලූම්ගසේ ලෑලි පුවරු අලූත් ලෑලි යොදා ප‍්‍රතිසංස්කරණය කළ බවට බන්ධනාගාර කොමසාරිස්වරයා මාධ්‍යවලට කළ කරුණු දැක්වීමයි. පසුගිය පෙබරවාරියේ දැයට කිරුළ ප‍්‍රදර්ශනයේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් එල්ලූම්ගසේ ආකෘතියක්ද ප‍්‍රදර්ශනය කළ අතර, එහිදී කරන ලද ජනමත විමසුමකදී මත පළකළ පිරිසෙන් සියයට අසූවක් පමණ එල්ලූම්ගස නැවත ක‍්‍රියාත්මක කළ යුතුයැ යි අදහස්කළ බවද මාධ්‍ය වාර්තා කළේය. බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් දක්වන අධිකතර උනන්දුවෙන් පෙනෙන්නේ කවර මොහොතක හෝ රජය මරණ දඬුවම ක‍්‍රියාත්මක කළහොත් ඒ සඳහා දැනට නියම ව සිටින්නන් වහාම එල්ලා මරාදැමීමට මෙන්ම අලූතෙන් මරණ දඬුවම නියමවන්නන්ද අප‍්‍රමාදව එල්ලා මරාදැමීමට ඔවුන් සූදානම් වෙමින් සිටින ආකාරයකි.

මිනිසුන් මැරීමට භාවිත කරන එල්ලූම්ගස මේ සා අඛණ්ඩ අවධානයක් සමාජයේ දිනාගන්නේ රටේ සිදුවන බරපතළ අපරාධ සංඛ්‍යාවෙහි හා ඒවායේ ඇති බරපතළ ස්වභාවයේ සැලකිය යුතු වර්ධනයක් දක්නට තිබෙන බවට සමාජයේ විවිධ අංශවලින් අවධාරණය කිරීමත් සමගය. ආණ්ඩුව කවරාකාරයකට අර්ථදැක්වූවද විශේෂයෙන්ම ළමයිනට හා කාන්තාවනට එරෙහිව සිදුවන අපරාධ, බරපතළ හා සමූහ මිනීමැරුම් පසුගිය කාලයේ දැනෙන තේරෙන ප‍්‍රමාණයට වර්ධනය වූ බව රහසක් නොවේ. එම අපරාධවලට වගකිවයුත්තන්ගේ දිවි තොර කිරීම මගින් මේ අපරාධවලින් සමාජය ගලවාගත හැකි බවට කිසියම් ආකාරයක පොදු ජනමතයක්ද සමාජය තුළ නිර්මාණය වී තිබෙන බව පෙනෙයි. මේ මතය නියෝජනය කරන්නාහු ළමා හා කාන්තා හිංසකයන් සඳහා මරණ දඬුවම කියාත්මක කරන ලෙස ඉල්ලති. වෙනත් බරපතළ වැරදි සඳහාද දැනට අත්හිටුවා ඇති මරණ දඬුවම නැවත ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලති.

එහෙත් තවමත්, රාජ්‍ය පාලනයේ වගකිවයුත්තන්ගෙන් මේ එල්ලාමැරීමේ දඬුවමට අනුමැතිය ලැබී නැත. විවිධ අවස්ථාවලදී ඒ ගැන ඔවුන් කරන ප‍්‍රකාශ සලකා බැලූවිටද මරණ දඬුවම නැවත ක‍්‍රියාත්මක වේයැ යි සිතන්නට සාධාරණ හැකියාවක් නැත. එවැනි තත්ත්වයකදී, බන්ධනාගාර දෙපාර්තමේන්තුව එල්ලූම්ගස ගැන බලවත් උනන්දුවෙන් කටයුතු කිරීමත්, රටේ මාධ්‍ය ඒ ගැන උත්කර්ෂයෙන් වාර්තා කිරීමත් සිදුවන්නේ ඇයිදැ යි පැහැදිලි නැත.

මරණ දඬුවම ශිෂ්ට ලෝකයට නොගැලපෙන අශිෂ්ට කෲර දඬුවමකි. ලංකාවේ නැවත කිසිදා ක‍්‍රියාත්මක නොකළ යුතු දඬුවමකි. ලෝකයක් ලෙස අප ගමන්කරමින් සිටින්නේද මරණ දඬුවමට විරුද්ධ දිශාවටය. බොහෝ රටවල් දැනටමත් තමන්ගේ දඬුවම් ලැයිස්තුවෙන් මරණ දඬුවම ඉවත්කර ඇති අතර, එය තවමත් පවත්වාගෙන යන රටවල් වුවද මරණ දඬුවමේ කෲරභාවය අවම කිරීම ගැන අවධානයෙන් කටයුතු කරති. එක්සත් ජාතීන්ගේ සංවිධානයද සාමූහික මතයක් ලෙස මරණ දඬුවමට විරුද්ධය. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට පසුව එකතු කළ දෙවැනි විකල්ප සම්මුතිය මගින්, සිය රටවල දණ්ඩන ලැයිස්තුවෙන් මරණ දඬුවම ඉවත්කරන බවට සාමාජිකයන්ගේ බැඳීමක් එම සංවිධානය අපේක්‍ෂා කරයි.

මිනිසකු කළ වරදකට විපාක ලෙස ඔහුගේ දිවිතොරකිරීම, ඔහුට කිසිදිනෙක නිවැරදි වීමට අවස්ථාවක් ලබා නොදීමකි. එමෙන්ම අපරාධ සම්බන්ධයෙන් සෙසු සමාජයේ වගකීම යටපත්කොට පැහැර හැරීමකි. අපරාධකරුවෝ ඕපපාතිකව පහළ නොවෙති. ඔවුහු සමාජ නිර්මිතයෝය. ලංකාව පසුගිය කාලයේ ගතකළේද අපරාධවලට සරුබිමක් ඇතිකරන වකවානුවකි. යුද්ධය සියලූ මානුෂික සාරධර්ම තලා දැමීය. යුද්ධයකට අදාළ පිළිගත් ප‍්‍රමිතීන් පවා එහිදී රැකුණේ නැත. යුද්ධය කළවුන් විසින් ගොඩනගාගත් ප‍්‍රචණ්ඩ බලය අදත් එලෙසින්ම නොවූවත් විවිධ මුහුණුවරින් සමාජයේ පවතියි. දේශපාලන බලය ඇත්තන් වෙනුවෙන් නීතිය ක‍්‍රියාත්මක නොවන අතර ආණ්ඩුවට ගැති වැදගත් අපරාධකරුවෝ ආණ්ඩුවේ නොමඳ රැකවරණය ලබති. ඒ අතර යුද්ධයට සම්බන්ධව ආයුධ පුහුණුව ලත් අතිවිශාල පිරිසක් ආයුධ ද සමග සමාජයේ විසිරී සිටිති. සමාජය යහමග යැවීමට වගකීමක් ඇති ආගමික සංස්ථා සිය වලංගුභාවය තමන් විසින්ම බිඳගෙන තිබේ. අවිහිංසා ධර්මයක ප‍්‍රචාරකයන් විය යුතු වූ භික්‍ෂුන් වහන්සේලා බහුතරය ජනඝාතක යුද්ධයකට පිරිත් පැන් ඉස ආශිර්වාද කොට සිය ශාස්තෘවරයාගේ ධර්මය කිලිටි කළෝය.

මෙවැනි කනගාටුදායක පසුබිමක, අපරාධකරුවන් පමණක් එල්ලූම්ගස් යැවීමෙන් අත සෝදාගන්නට අපට හැකියාවක් තිබේද?




Line
Sri Lanka