ravaya
83, පිළියන්දල පාර, මහරගම. දුරකථන: 2851672 / 2851673 කර්තෘ මණ්ඩලය: 2842064 බෙදාහැරීමේ අංශය: 2896330 ෆැක්ස්: 2851814 ඊමේල්: ravaya@gmail.com

අධිකරණයේ කළු පැල්ලම්

යුක්තිය ඉල්ලා අධිකරණය ඉදිරියට කිසිවකු යායුත්තේ පිරිසිදු අත් ඇතිවයැ යි මූලධර්මයක් තිබේ. තමාද වරදක් කොට, ඊට වඩා වැඩි හෝ අඩු හෝ වරදක් කළ අයකුට එරෙහිව දඬුවම් ඉල්ලන්නට කිසිවකුට අයිතියක් නැත යන්න එහි ප‍්‍රායෝගික අර්ථයයි. මෙසේ පිරිසිදු අතින් අධිකරණයට එන තැනැත්තාගේ ආයාචනය විභාග කරන්නට නම් අධිකරණයේ සිටිය යුත්තේද පිරිසිදු අයෙකි. ඒ නිසා අධිකරණ විනිසුරන් ලෙස හොරුන්, වංචාකාරයන්, දේශපාලන ගැත්තන් හෝ දූෂකයන් සිටිය නොහැකිය. එවැනි පුද්ගලයන් අධිකරණ සේවයට එක්නොකර ගැනීමේ හෝ අධිකරණ සේවයෙන් ඉවත්කොට තැබීමේ වගකීම ඇත්තේ ජනාධිපතිවරයාටත්, පාර්ලිමේන්තුවටත්, අධිකරණ සේවා කොමිෂන් සභාවටත්ය.

හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා චේතනාන්විතවම රටේ අධිකරණ පද්ධතිය දූෂණයේ, පක්‍ෂග‍්‍රාහීභාවයේ හා හිතුවක්කාරකමේ අගාධය දෙසට ඇදගෙන ගියේය. අධිකරණයෙන් යුක්තිය පතාගෙන එන අහිංස...



ක‍්‍රමයේ අර්බුදය උග‍්‍රකරන පළාත් සභා මැතිවරණ

වික්ටර් අයිවන් [Sunday, September 9, 2012]

සජිත් පේ‍්‍රමදාස මහතා සබරගමුව පළාතේ මැතිවරණ ප‍්‍රචාරක රැස්වීමක් අමතා කතා කරන කතාවක කොටසක් හදිසියේ රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් ඇසගැසුණු අවස්ථාවකදී අසන්නට ලැබුණි. එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයකු යටතේ ගම්බද දුප්පත් ජනතාව සඳහා වඩා හොඳ සහනාධාර ක‍්‍රමයක් ඇති කරදෙන බවට ඔහු එහිදී අවධානයෙන් කියා සිටියේය. මට ඒ මොහොතේ ක්ෂණිකව සිතුණේ විධායක ජනාධිපති පුටුවට බරදී එහි හරබර ලෙස වාඩිවී සිටින රාජ්‍ය නායකයා පමණක් නොව ඒ පුටුවේ ඊළඟට වාඩිවෙන්න අපේක්ෂා කරන නායකයන්ද විධායක ජනාධිපති ක‍්‍රමය නමැති පුටුවේ ඇතිවී තිබෙන ගරාහැලීම තුළ එය කොයි මොහොතක හෝ කඩා වැටෙන්න ආසන්න තත්ත්වයක තිබෙන බව තේරුම් ගැනීමට අසමත්ව තිබෙන බවය. පරම බලයට තිබෙන මෝහය විසින් එහි යථා තත්ත්වය දැකීමේ හැකියාව ඒ සියලූදෙනා විසින් අහිමි කරගෙන තිබෙන බව පෙනේ.

ප‍්‍රභාකරන්ගේ තත්ත්වාකාර දේශපාලන ක‍්‍රමය රටේ තිබෙන සාම්ප‍්‍රදායික දේශපාලන ක‍්‍රමයට පරාජය නොවී සාම්ප‍්‍රදායික දේශපාලන ක‍්‍රමය පමණක් කඩා වැටෙන තත්ත්වයකට ගියේ නම් ඇතිවන අවුල වඩා විශාල අවුලක් වන්නට ඉඩ තිබුණි. එහෙත් සියලූදෙනාගේ වාසනාවට එසේ නොවී ප‍්‍රභාකරන්ගේ තත්ත්වාකාර දේශපාලන ක‍්‍රමය සාම්ප‍්‍රදායික දේශපාලන ක‍්‍රමය අතින් පරාජය විය. එහෙත් ජයග‍්‍රාහකයා ප‍්‍රභාකරන්ගේ තත්ත්වාකාර දේශපාලන ක‍්‍රමය පරාජය කරන විට, තමන් නියෝජනය කරන දේශපාලන ක‍්‍රමයද තිබෙන්නේ ජරාජීර්ණ වී ගරා හැලෙමින් කඩාවැටෙන්න ඔන්න මෙන්න කියන තත්ත්වයක බව තේරුම් ගනිමින්, කඩාවැටීමක් ඇතිවන්නට ප‍්‍රථම රටේ සියලූදෙනාගේ විශ්වාසයට හේතුවන යහපත් හා කාර්යක්ෂම නව දේශපාලන ක‍්‍රමයක් ඇති කරගැනීමේ අවස්ථාව තේරුම් ගැනීමට අසමත් විය. එම අන්ධභාවයට හේතුවන්නට ඇත්තේ මෙම ක‍්‍රමයෙන් ලැබී තිබුණු පරම බලයට තිබූ ආශාව නිසා විය හැකිය. පරම බලයක් ලබාදී තිබුණු දේශපාලන ක‍්‍රමය අත්නොහැර හා අඩුම වශයෙන් එය ප‍්‍රතිසංස්කරණයට පවා ලක්කිරීමෙන් තොරව ප‍්‍රභාකරන් පරාජය කිරීමේ කීර්තියෙන් හා මහා පරිමාණයේ සංවර්ධන වැඩසටහනකින් පමණක් අභියෝගවලින් තොරව චිරාත් කාලයක් රට පාලනය කිරීමේ හැකියාව තමන්ට ලැබෙනු ඇතැ යි ජයග‍්‍රාහකයා කල්පනා කළේය. අවසානයේ සිදුවී තිබෙන්නේ ජයග‍්‍රහණය දිරවා ගත නොහැකි තත්ත්වයකට ජයග‍්‍රාහකයා පත්ව සිටීමය.

ඓතිහාසික අර්ථයෙන් තරග යෙදී තිබුණේ එවැනි පහසු ගමනකට ඉඩක් නැති යුද්ධයේ ජයග‍්‍රහණයෙන් පසුව ඓතිහාසික වශයෙන් අභාවයට යමින් තිබුණු දේශපාලන ක‍්‍රමයේ මූලික වෙනසකින් තොරව සාර්ථක ලෙස එක අඩියක්වත් ඉදිරියට යා නොහැකි තැනකය. එම ඓතිහාසික කාර්යභාරය සම්පූර්ණ කිරීමෙන් තොරව ඉදිරියට යන තත්ත්වයක් තුළ දේශපාලන ක‍්‍රමය එහි පැවැත්මේ අවසාන අර්බුදය කරළියට ගෙනාවේය. තේරුම්ගත යුතුව තිබෙන වැදගත්ම දේ එය විරුද්ධ පක්ෂවලින් එල්ල වන පීඩනයක් නිසා ඇතිවූ අර්බුදයක් නොවන බවය. ක‍්‍රමයේ අභ්‍යන්තර නොගැළපීම් වර්ධනයවීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් ඇතිවූවක් බවය. එය දේශපාලන ක‍්‍රමයේ එක තැනක හෝ තැන් කිහිපයකම තිබෙන තත්ත්වයකුත් නොව හැම තැනකම තිබෙන තත්ත්වයකි. විටින් විට විවිධ තැන්වලින් මතුවන අවුල් පාලනය කිරීමට දරන උත්සාහයන්ද අවුල් සමනය කරනවා වෙනුවට උග‍්‍ර කිරීමට හේතුවී තිබේ.

දැන් හැම දෙයක්ම තිබෙන්නේ අවුලෙන් අවුලට යන තත්ත්වයකය. ඒ අවුල් සියල්ල හෝ ඉන් කිසියම් ප‍්‍රමාණයක් එකට එකතු වී පිපිරී ක‍්‍රමය මුළුමනින් ක‍්‍රියාවිරහිත වන තත්ත්වයකට පත්විය හැකිය. එය වැළකිය හැකි දෙයක් බවද පෙනෙන්නේ නැත.

ආර්ථික අර්බුදය පැහැදිලිව පෙනෙන්නට තිබෙන තත්ත්වයකි. එහෙත් එය ආර්ථිකයට පමණක් සීමාවූ අර්බුදයක් ලෙස තේරුම් ගැනීම වැරදිය. දේශපාලන ක‍්‍රමයේ සමස්ත ආයතන ක‍්‍රමයම තිබෙන්නේ විශාල අර්බුදයකය. ඒ අර්බුදය ආර්ථික අර්බුදය කෙරෙහි සේ ම ආර්ථික අර්බුදය දේශපාලන ක‍්‍රමයේ අර්බුදය කෙරෙහිද බලපායි.

විශාල ආර්ථික අර්බුදයක් තිබියදීත් යටිතල පහසුකම් සඳහා කැරෙන වැඩ නතර වී නැත. ඒවාද මහා පරිමාණයෙන් සිදුවෙමින් පවතී. කාපට් දමා මහාමාර්ග නවීන කිරීම යටිතල පහසුකම් නගාසිටුවීමේ වැඩපිළිවෙළේ කැපීපෙනෙන අංගයක් ලෙස සැලකිය හැකිය. අලූතෙන් ආරම්භ කළ විශාල ව්‍යාපාර අතර ඵලදායී ව්‍යාපාර තිබෙනවා සේ ම ඵලදායී නොවන සුදු අලි ව්‍යාපාරද පවතී. ඇහැට කනට පෙනෙන විශාල සංවර්ධන ව්‍යාපාර ඇති කිරීම මගින් අනෙක් ප‍්‍රශ්න මතුවීම සාර්ථක ලෙස වළකාගත හැකිවනු ඇතැ යි ආණ්ඩුව විශ්වාස කළේය. මහා පරිමාණයේ සංවර්ධන කටයුතු සඳහා පමණක් නොව එදිනෙදා වියදම් පියවා ගැනීම සඳහා ද අවශ්‍ය අරමුදල්වලින් වැඩි කොටසක් ලබාගත්තේ 6%ක් වැනි වැඩි පොලියක් ගෙවිය යුතු කෙටිකාලීන විදේශීය ණය වශයෙනි. ඒ තත්ත්වය විදේශ ණය බර උග‍්‍ර කිරීමට හේතුවී තිබේ. රුපියලේ හුවමාරු අනුපාතිකය කෘත‍්‍රිම ලෙස වාසිදායක තත්ත්වයක තබාගැනීම සඳහා දැවැන්ත වියදමක් දරන ලද මුත් ඒ තත්ත්වය දිගින් දිගට පවත්වාගෙන යෑමට අවශ්‍ය ආර්ථික ශක්තිය නොමැතිවීම හේතු කොටගෙන පාලනය අතහැර එය පාවෙන තත්ත්වයකට යන්නට ඉඩ හැරියේය. එහි ප‍්‍රතිඵලය ආනයන වියදමේ විශාල වර්ධනයක් ඇති කොට ගෙවුම් ශේෂ අර්බුදයද උග‍්‍ර කරමින් වෙළෙඳපොළේ භාණ්ඩ මිලෙහිද වේගවත් වර්ධනයක් ඇති කිරීමට හේතුවිය. ව්‍යාපාරික සමාගම් සිය ප‍්‍රවර්ධන කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් ලබාගත් ප‍්‍රධාන මාර්ගය වී තිබුණේ කොටස් වෙළෙඳපොළය. කොටස් වෙළෙඳපොළේ පැවති අයථා ගනුදෙනු හා අතපෙවීම් ආශ‍්‍රයෙන් ඇතිවී තිබුණු අර්බුදය අවසාන වශයෙන් විසඳනු ලැබූ ආකාරය ව්‍යාපාරික අංශවල හැකිළීමකට මිස වර්ධනයකට තුඩුදෙන්නේ නැත.

බලශක්ති අංශයේ මතුවී තිබෙන පාලනය කළ නොහැකි අවුල්ද ආර්ථිකයේ පවතින අවුල්සහගත තත්ත්වය උග‍්‍රකිරීමට හේතුවිය හැකිය. නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයක් ඉදිකිරීමට ගනු ලැබූ තීන්දුව යහපත් තීන්දුවක් ලෙස සැලකිය හැකි වුවද ඒ සඳහා තෝරාගත් බලාගාරය තාක්ෂණික වශයෙන් නවීන තත්ත්වයක තිබූ බලාගාරයක් නොවීය. ඒ නිසා දැන් එය රටේ විදුලි අර්බුදයට පිළියමක් වෙනවා වෙනුවට එම අර්බුදය උග‍්‍රකරන අතිරේක සාධකයක් බවට පත්වී තිබේ. දැන් දිනකට පැය කිහිපයක් විදුලිය කපාහරින පිළිවෙතක් අනුගමනය කැරෙමින් තිබුණද එය තාවකාලික පියවරක් පමණක් බවට ප‍්‍රකාශ කර තිබේ. එහෙත් කටයුතු සිදුවෙමින් තිබෙන ආකාරය අනුව පෙනෙන්නට තිබෙන්නේ එය ස්ථිර ප‍්‍රතිපත්තියක් බවට පත්වීමට වැඩි හැකියාවක් තිබෙන බවය. විදුලිබල ඇමතිවරයා ප‍්‍රකාශ කර තිබෙන ආකාරයට විදුලි බලය නිපදවන ජලාශවල පවත්නා ජල මට්ටම පහත වැටීම නිසා මහජනයාට හා රජයට අවාසිදායක කොන්දේසි යටතේ පෞද්ගලික අංශය විසින් නිපදවන තාප විදුලි බලය මත රැුඳී සිටීමට විදුලිබල මණ්ඩලයට සිදුවනු ඇත. ඒ තත්ත්වය විදුලිබල මණ්ඩලයේ බංකොලොත්භාවය උග‍්‍ර කිරීමට හේතුවීමෙන් නොනැවතී ඒ වියදම මහජනයා මත පටවන ප‍්‍රතිපත්තියක් තුළ මහජනයාද එම විෂයයේදී කබලෙන් ළිපට වැටෙන තත්ත්වයකට පත්වනු නොවැළැක්විය හැකිය. මතුවී තිබෙන අර්බුදය හමුවේ ආණ්ඩුවට තිබෙන මහජන පිළිගැනීම වර්ධනය කරගැනීම සඳහා විශාල වශයෙන් තරුණ තරුණියන්ට රජයේ රැුකියා ලබාදෙන ප‍්‍රතිපත්තියකුත් මහජනතාව සඳහා නව සහනාධාර ක‍්‍රම ඇතිකරන ප‍්‍රතිපත්තියකුත් ආණ්ඩුව ක‍්‍රියාත්මක කරමින් සිටින බව පෙනෙන්නට තිබේ. හමුදා සේවයේ නිරත අයගේ දෙමාපියන්ටද විශේෂ දීමනාවක් දෙන්නට සැලසුම් කර තිබෙන බව වාර්තා විය. තර්කානුකූල නොවන මේ සියලූ දේවලින් සිදුවිය හැක්කේ ආණ්ඩුවේ වියදම දෙගුණ තෙගුණ වී අයවැය පාලනය කළ නොහැකි තත්ත්වයකට ඇදවැටීමය.

කාලය සම්පූර්ණවීමට ප‍්‍රථම කඩින් කඩ පළාත් සභා මැතිවරණ පැවැත්වීමෙන් ආණ්ඩුව අපේක්ෂා කරන බව පෙනෙන්නේද මොනතරම් අර්බුද රටේ තිබුණත් මහජන බලය තිබෙන්නේ තමන්ට බව ප‍්‍රදර්ශනය කිරීමය. පළාත් සභා මැතිවරණවලදී ආණ්ඩුව පරාජය කළ හැකි ශක්තිමත් විරුද්ධ පක්ෂ බලවේගයක් නැති බව සැබෑවකි. එහෙත් පළාත් සභා මැතිවරණ ආණ්ඩුව මුහුණ දී තිබෙන අවුල් උග‍්‍රකිරීමට මිස සමනය කිරීමට හේතුවන්නේ නැත. ආර්ථික අර්බුදයක් තිබෙන මේ අවස්ථාවේදී ඒ සඳහා කැරෙන දැවැන්ත වියදම් රටේ ආර්ථික අමාරුකම් උග‍්‍ර කිරීමට මිස සැහැල්ලූ කිරීමට හේතුවන්නේ නැත. අනෙක් අතට මැතිවරණ වටාපිටාවක් රටේ ආර්ථික ක‍්‍රියාකාරීත්වය දුබල කරනවා මිස ශක්තිමත් කරන්නේ නැත. වඩා නරක දේ ඒ මගින් දේශපාලන තලයේ තිබෙන අවිනිශ්චිත තත්ත්වය වර්ධනය කිරීමට හේතුවන බලවත් සාධකයක් ලෙස ක‍්‍රියාකිරීමට තිබෙන හැකියාවය. ආණ්ඩුව පළාත් සභා මැතිවරණ ජයගත්තත් ආණ්ඩුවට ලැබෙන ඡුන්ද අනුපාතිකයේ කැපීපෙනෙන තරම් පහළ වැටීමක් ඇති වුවහොත් එය ආණ්ඩුවේ ආත්ම විශ්වාසය බිඳ දැමීමට හේතුවී ආණ්ඩුව අලූත් වටයක අර්බුදයකට තල්ලූ වනු ඇත්තේය. අනෙක් අතට මේ අවස්ථාවේ පවත්වන මැතිවරණ නිසා ආණ්ඩුවේ ප‍්‍රාදේශීය නායකයන්ගේ බලතුලනයේ ඇතිවන වෙනස්කම්ද ප‍්‍රාදේශීය දේශපාලන ආධිපත්‍යයේ අවුල් ඇති කිරීමට හේතුවිය හැකිය. ඒ අවුල්ද තිබෙන ලොකු අවුල උග‍්‍ර කරන අතිරේක සාධක ලෙස ක‍්‍රියා කළ හැකිය.




Line
Sri Lanka