ravaya
83, පිළියන්දල පාර, මහරගම. දුරකථන: 2851672 / 2851673 කර්තෘ මණ්ඩලය: 2842064 බෙදාහැරීමේ අංශය: 2896330 ෆැක්ස්: 2851814 ඊමේල්: ravaya@gmail.com

අධිකරණයේ කළු පැල්ලම්

යුක්තිය ඉල්ලා අධිකරණය ඉදිරියට කිසිවකු යායුත්තේ පිරිසිදු අත් ඇතිවයැ යි මූලධර්මයක් තිබේ. තමාද වරදක් කොට, ඊට වඩා වැඩි හෝ අඩු හෝ වරදක් කළ අයකුට එරෙහිව දඬුවම් ඉල්ලන්නට කිසිවකුට අයිතියක් නැත යන්න එහි ප‍්‍රායෝගික අර්ථයයි. මෙසේ පිරිසිදු අතින් අධිකරණයට එන තැනැත්තාගේ ආයාචනය විභාග කරන්නට නම් අධිකරණයේ සිටිය යුත්තේද පිරිසිදු අයෙකි. ඒ නිසා අධිකරණ විනිසුරන් ලෙස හොරුන්, වංචාකාරයන්, දේශපාලන ගැත්තන් හෝ දූෂකයන් සිටිය නොහැකිය. එවැනි පුද්ගලයන් අධිකරණ සේවයට එක්නොකර ගැනීමේ හෝ අධිකරණ සේවයෙන් ඉවත්කොට තැබීමේ වගකීම ඇත්තේ ජනාධිපතිවරයාටත්, පාර්ලිමේන්තුවටත්, අධිකරණ සේවා කොමිෂන් සභාවටත්ය.

හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා චේතනාන්විතවම රටේ අධිකරණ පද්ධතිය දූෂණයේ, පක්‍ෂග‍්‍රාහීභාවයේ හා හිතුවක්කාරකමේ අගාධය දෙසට ඇදගෙන ගියේය. අධිකරණයෙන් යුක්තිය පතාගෙන එන අහිංස...



යහපත් දේශපාලන ක‍්‍රමයක් සඳහා සිහින දැකීමේ අවශ්‍යතාව

වික්ටර් අයිවන් [Sunday, September 9, 2012]

ඉදිරියේ විය හැක්කේ කුමක් වුවත් ප‍්‍රභාකරන් පරාජය කිරීමෙන් පසු රට මුහුණ දී තිබෙන අර්බුදයට මූලික හේතුව ලෙස සැලකිය හැක්කේ තවදුරටත් ඉදිරියට ගෙනයෑමට බැරි තරමට ජරාජීර්ණ වී තිබුණු දූෂිත දේශපාලන ක‍්‍රමයේ මූලික වෙනසක් ඇති කොට බෙදී සිටින සියලූ ජනයා එකට එකතු කිරීමට හේතුවන, අත්තනෝමතිකත්වයට හෝ දූෂණයට ඉඩක් නැති සාධාරණ හා කාර්යක්ෂම පාලනයකට හේතුවන නව දේශපාලන ක‍්‍රමයක් ගොඩනගා ගැනීමට අසමත්වීමය. ඉදිරියේ ඇතිවිය හැකි ඕනෑම අර්බුදයකින් ඇතිවිය හැකි හානිය අවම කරගත හැකිවනු ඇත්තේ ඉදිරියේ ඇතිවිය හැකි අර්බුදයේ ස්වභාවය තේරුම් ගැනීමෙනි. ඒ සමග නව දේහපාලන ක‍්‍රමයක් ගැන සිහින දකින හා ඒ ගැන සාකච්ඡා කරන තැනකට දැනුවත් සමාජය යොමුවිය යුතුය.

මැතිවරණ ක‍්‍රමයේ අවුල

මෙය මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවක් බැවින් මෙම දූෂිත ක‍්‍රමය තුළ ක‍්‍රියාත්මක මැතිවරණ ක‍්‍රමය විවේචනාත්මකව සලකා බැලීමට මෙය සුදුසු අවස්ථාවකි. මෙම දූෂිත දේශපාලන ක‍්‍රමය සකස් කර තිබෙන්නේ තීරණාත්මක වැදගත්කමක් නැති සියලූ මැතිවරණ පාලක පක්ෂයට ජයගත හැකි ආකාරයටය. ජනාධිපතිවරණ දෙකක් අතර කාලයේ පැවැත්වෙන මැතිවරණ සැලකිය හැක්කේ බලයේ සිටින පාලක පක්ෂයට අනියම් ලෙස හැසිරවිය හැකි නිදහස් හෝ සාධාරණ නොවන මැතිවරණ ලෙසය. හිටපු මැතිවරණ කොමසාරිස්වරයෙකු සිය නිල වාර්තාවක ඒ ගැන ඉදිරිපත් කර තිබෙන වැදගත් නිරීක්ෂණයක් මෙසේය.

1978 දේශපාලන කළමනාකාරීත්වයේ ස්වභාවය අනුව තවත් ගැටලූවක් පැන නැගී ඇති බව පෙනේ. 1978 ව්‍යවස්ථාවට පෙර ප‍්‍රබල මට්ටමක අධිකාරියක් දැරුවේ පාර්ලිමේන්තුව පමණය. පාර්ලිමේන්තුවක් විසුරුවා හැරීමෙන් පසු මුළු දේශපාලන සංවිධානයම ඡන්දදායකයා ඉදිරියේ තම ශක්තිය උරගා බැලීම සඳහා යොමුවිය. මේ හේතුව නිසා පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවේදී රාජ්‍ය සේවය හා ආරක්ෂක සේවාවන් විසින් කටයුතු මෙහෙයවා ගැනීමේදී ස්වාධීනත්වයකින් ක‍්‍රියාකිරීමට සමත් විය. අද අධිකාරී බලතල දරන දේශපාලන කළමනාකරණ සංවිධාන හතරක් ඇත. ඒවා නම් විධායක ජනාධිපති, පාර්ලිමේන්තුව, පළාත් සභා හා පළාත් පාලන ආයතන වේ. මෙයින් එක් ආයතනයක් ඡන්ද විමසීමකට භාජනය වන අවස්ථාවේදී අනෙකුත් ආයතන සියල්ලම සම්පූර්ණ රාජකාරී බලය සහිතව එදිනෙදා කටයුතුවල යෙදේ. සම්පූර්ණ බලතල සහිතව ක‍්‍රියාත්මක වන මෙවැනි දේශපාලන අධිකාරින්ගේ ශක්තිය නිසා ගැටලූ දෙකක් පැන නගී. ඡන්ද විමසීම්වලදී වැරදි කරන අය පවතින අධිකාරියේ බලතල දඩමීමා කොටගෙන එවැනි වැරදි සම්බන්ධයෙන් පවත්වනු ලබන පරීක්ෂණවලින් හා නඩු හබවලින් වැළකී සිටීමට හැකිවේයැ යි විශ්වාසයක් එක් අතකින් පෙන්වයි. අනික් අතින් නීතිය ක‍්‍රියාත්මක කිරීමට බැඳී සිටින අංශ විසින් පවතින දේශපාලන බලතුලනය සමග සහජීවනයෙන් සිටීමට අවශ්‍ය නොවේදැ යි අවිනිශ්චිත තත්ත්වයකට පත්වේ. මේ නිසා දේශපාලන වශයෙන් ප‍්‍රියජනක නොවූ මැතිවරණයක දූෂණ පිළිබඳව පරීක්ෂා කිරීමට ඔවුන් මැලිකමක් දක්වති.

(1989 පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාගේ - චන්දානන්ද සිල්වා - වාර්තාව 608 වන ජේදය, 275-276 පිටු) එම මැතිවරණ කොමසාරිස්වරයා මෙම දේශපාලන ක‍්‍රමය තුළ පැවැත්වෙන මැතිවරණවලට අදාළව වැදගත් කරුණක් ඉදිරිපත් කර ඇතත් ඔහු මතු කරන ගැටලූව හොඳින් විශ්ලේෂණය කර නැත. එය වැඩිදුර විශ්ලේෂණයකට ලක්විය යුතුය.

මෙම දේශපාලන ක‍්‍රමය සකස් කර තිබෙන්නේ විධායක ජනාධිපති බලය හිමිකර ගන්නා පක්ෂයට හෝ දේශපාලන කණ්ඩායමට පාර්ලිමේන්තු බලය, පළාත් සභා හා පළාත් පාලන බලයද හිමි කරගත හැකි ආකාරයටය. එවිට ජනාධිපති මැතිවරණ දෙකක් අතරතුර කාලයේ පැවැත්වෙන මැතිවරණවලදී මැතිවරණ නොපැවැත්වෙන අනෙකුත් සියලූ ආයතනවලට නිල බලය හා එම නිල බලයට ඇතුළත් සම්පත්ද යොදා ගනිමින් ඒ මැතිවරණ කටයුතුවල නිරත විය හැකිය. දැන් පැවැත්වෙන පළාත් සභා මැතිවරණයට ජනාධිපතිවරයාද, මැති ඇමතිවරුන්ද මැතිවරණ නොපැවැත්වෙන පළාත් සභාවල මහ ඇමතිවරුන් හා මැති ඇමතිවරුන්ද ප‍්‍රාදේශීය සභාවල හා නගර සභාවල සභාපතිවරුන්, නගරාධිපතිවරුන් හා මන්ත‍්‍රීවරුන්ද යන සියලූදෙනා ඒ තමන්ගේ පුද්ගලික වියදමෙන් නොව ඒ ආයතනවල වියදමෙන් මැතිවරණ කටයුතුවල නිරත වේ. ඔවුන්ට නිල බලයෙන් ලැබුණු යාන වාහන හෝ ඔවුන්ගේ ආයතනවල සම්පත්ද ඒ සඳහා යොදා ගනී. ජනාධිපතිවරුන් මැති ඇමතිවරුන් හා මහ ඇමතිවරුන් කරළියට බසින විට ඔවුන්ගේ නිල වැදගත්කමක් ඇති නිලධාරීන්ටද තමන්ගේ දේශපාලන ප‍්‍රධානියා සමග එකට එකතු වී ඒ කටයුතුවල නිරතවන්නට සිදුවේ. ඔවුන් විශාල නිල බලයක් දරන පුද්ගලයන් වන නිසා මැතිවරණ නීති උල්ලංඝනය කැරෙන අවස්ථාවලදී පවා නීතිය ක‍්‍රියාත්මක කරන අංශවලට ඔවුන්ට එරෙහිව ක‍්‍රියාත්මකවීමේ හැකියාවක් නැත. තේරීම් භාර නිලධාරීන්ට පවා ඔවුහු ඔවුන් යටතේ ක‍්‍රියාත්මක වන නිලධාරීන් වන නිසා එම දේශපාලන බලවතුන් කරන ඉල්ලීම් මුළුමනින් නොසලකා හැරීමේ හැකියාවක් නැත. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කිසියම් මැතිවරණයකදී රටේ සියලූ දිසාපතිවරුන්ට අරලියගහ මන්දිරයේදී භෝජන සංග‍්‍රහයක් පවත්වන ලදි. මැතිවරණයකදී තේරීම් භාර නිලධාරීන් බවට පත්වන්නේ දිසාපතිවරුන්ය. මැතිවරණයක් පවතින අවස්ථාවක එවැනි දෙයක් කිරීම නොහොබිනා දෙයක් වුවද කැඳවීම ලැබී තිබුණේ රාජ්‍ය නායිකාවගෙන් වීම හේතු කොටගෙන දිසාපතිවරුන් විශාල සංඛ්‍යාවක් ඒ අවස්ථාවට සහභාගි විය.

මීට පෙර පැවති දේශපාලන ක‍්‍රමය යටතේ සාමාන්‍යයෙන් හැම අවුරුදු පහකට වරක්ම ආණ්ඩු වෙනස් විය. ඒ බව රාජ්‍ය නිලධාරීන්ද දැන සිටියේය. දැන් තිබෙන දූෂිත දේශපාලන ක‍්‍රමය තුළ බලයට පත්වන ආණ්ඩුවක් දශක දෙකකට ආසන්න කාලයක් බලයේ සිටින බව රාජ්‍ය නිලධාරීන් අත්දැකීමෙන් දන්නෙහිය. එම තත්ත්වය රාජ්‍ය නිලධාරීන් ආණ්ඩුව සමග කල්ලි ගැසී ක‍්‍රියාකරන තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබේ. බලයට පත්වන ආණ්ඩු සමග එකට කල්ලි ගැසී ක‍්‍රියාකිරීමෙන් අතිවිශාල ලාභ ප‍්‍රයෝජන ලබාගත හැකි බව රාජ්‍ය නිලධාරීන් දනිති. මෙම තත්ත්වයද මෙම දූෂිත දේශපාලන ක‍්‍රමය යටතේ පැවැත්වෙන මැතිවරණවල නිදහස් හා සාධාරණ බව සීමා කිරීමට හේතුවී තිබේ. මෙම අවලස්සන තත්ත්වය මෙම පාලන කාලය තුළ පමණක් නොව මෙම දූෂිත දේශපාලන ක‍්‍රමය ක‍්‍රියාත්මක වූ 1978 සිට පැවති හැම ආණ්ඩු පාලන කාලයක් තුළම පැවති තත්ත්වයක් විය.

ඡන්දදායකයන් මිලදී ගැනීම

ශිෂ්ටසම්පන්න රටවල මැතිවරණ නීති සකස් කර තිබෙන්නේ මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන්ට, ඡන්දදායකයන් හෝ සල්ලිකාරයන්ට, බලයට පත්වන ආණ්ඩු, මිලදී ගැනීමට ඉඩ නොලැබෙන ආකාරයටය. 1978 තෙක් අපේ රටේ පැවති තත්ත්වය එය විය. මැතිවරණයකදී අයුතු ලෙස ඡන්දදායකයන්ට සංග‍්‍රහ කිරීම තේරී පත්වූ නියෝජිතයකුගේ තේරී පත්වීම අහෝසි කිරීමට හේතුවන තරම් බරපතල වරදක් ලෙස සලකන ලදි. ඒ ක‍්‍රමය වෙනස් කිරීමෙන් පසු ඡන්දදායකයන් සඳහා කිසියම් මිලක් තිබේ නම් ඒ මිල ගෙවා ඡන්දදායකයන් මිලදී ගැනීමේ අයිතිය ඡන්ද අපේක්ෂකයන්ට ලබාදී තිබේ.

දැන් මැතිවරණවලදී ඡන්ද අපේක්ෂකයන් ඡන්දදායකයන් සඳහා විවිධාකාරවලින් ද්‍රව්‍යමය දේවල් ලබාදෙමින් තිබෙන්නේ හොර රහසේ නොව ප‍්‍රසිද්ධියේය. මැතිවරණ කාලවලදී තී‍්‍රවිලරයක ස්ටිකරයක් ප‍්‍රදර්ශනය කිරීම සඳහා ත‍්‍රීවිලරයට මිලක් ගෙවන ක‍්‍රමයක් හැම තැනකම ක‍්‍රියාත්මක වේ. ඡන්ද කාර්යාල සඳහාද විශේෂ මිලක් ගෙවන ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වේ. මට අසන්නට ලැබී තිබෙන ආකාරයට පසුගිය කොළඹ නගර සභා මැතිවරණයකට කිසියම් කණ්ඩායමකට මිනිසුන් සපයන කොන්ත‍්‍රාත්කරුවකු ඒ සඳහා අය කළ මිල සපයන හැම පුද්ගලයකු සඳහාම කෑම බීම හා කුඩු පැකැට්ටුවක වටිනාකම සමග දිනකට රුපියල් 1000කි. ගොඩනැගී තිබෙන මැතිවරණ සංස්කෘතිය අනුව මැතිවරණ විශේෂ කර්මාන්තයක් වන අතර ඡන්දදායකයන්ද ඒවායින් උපරිම මිලක් ලබාගන්නා තත්ත්වයක් ගොඩනැගී තිබේ.

ජනාධිපතිවරණයකට තරග කරන ප‍්‍රධාන අපේක්ෂකයකු සඳහා වියදම ගණන් බලන්නේ බිලියනවලිනි. පාර්ලිමේන්තු හා පළාත් සභා මැතිවරණ සඳහා මිලියනවලිනි. ප‍්‍රාදේශීය සභා මැතිවරණ සඳහා ලක්ෂ ගණනිනි. ජේ.ආර්. ජයවර්ධනද තුන්වැනි ධුර කාලයක් සඳහාද සිහින දැක්කේය. ඒ අදහස ඉවත් කරගත්තේ ජේවීපී කැරැල්ල හා පේ‍්‍රමදාස අගමැතිවරයාගෙන් එල්ල වූ දැඩි විරෝධය නිසාය. ඒ අදහස අත්හැරීමට ජේ.ආර්.ගේ හිත හැදූ එක් පුද්ගලයකු ලෙස සැලකෙන්නේ රන්ජන් විජේරත්නය. මේ දෙදෙනාටම සමීප පුද්ගලයකුගෙන් මට අසන්නට ලැබුණු කතාවක් අනුව ජේ.ආර්. ජයවර්ධන ඒ අවස්ථාව පේ‍්‍රමදාසට දෙන්නට හිත හදාගැනීමෙන් පසුව ඔහු රංජන් විජේරත්න ගෙන්වාගෙන නිවසේ කාමරයකට කැඳවාගෙන ගොස් රුපියල් දාහේ නෝට්ටු මිටිවලින් පිරී තිබූ අල්මාරියක් විවෘත කොට පෙන්වා ඒ සියලූ මුදල් පේ‍්‍රමදාස අතට පත් කරන ලෙස කියා තිබේ. සමහරවිට ඒ මුදල් ඔහු තුන්වැනි ජනාධිපතිවරණයකට වියදම් කිරීම සඳහා සුදානම් කොට තැබූ මුදල් විය හැකිය. වැදගත්ම දේ ඒ සා විශාල මුදල් ප‍්‍රමාණයක් බැංකුවක නොතබා ගෙදර අල්මාරියක තබාගත්තේ ඇයිද යන්නයි. ඒ සියලූ මුදල් කළු සල්ලි ලෙස සැලකිය හැකිය. ඒ නිසා ඒවා බැංකුවක තැන්පත් කළ නොහැකිය. පේ‍්‍රමදාස ජනාධිපතිවරයා ඝාතනයට ලක්වූ අවස්ථාවේදීද ඔහු ජීවත් වූ සුචරිතයේ රුපියල් බිලියන ගණනක් වටිනා රුපියල් 1000 නෝට්ටු මිටි තිබී හමුවිය. ඒ එම පළාත් සභා මැතිවරණයකට හා ඔහුගේ දෙවැනි ජනාධිපතිවරණයට සූදානම් කොට තබන ලද මුදල් විය හැකිය. ඒවා සැලකිය හැක්කේද කළු සල්ලි ලෙසය.

ආණ්ඩු මිලට ගැනීම

ඉන්පසු 1964දී පාර්ලිමේන්තු මැතිවරණයකට හා ජනාධිපතිවරණයකට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ලැබුණු මුදල් හා ඒවා ලැබුණු මාර්ග හා ඒ මුදල් ලබාදෙන ලද පුද්ගලයන් පිළිබඳව සමීපව සිදුවන සමහර දේවල් බලා සිටීමේ අවස්ථාව මට ලැබුණි. පාර්ලිමේන්තු මැතිවරණයට වුවමනාවටත් වඩා මුදල් ලැබී තිබුණි. ඒ ලැබී තිබුණු අරමුදල් ඡන්ද දෙකටම එනම් පාර්ලිමේන්තු මැතිවරණයකට හා ජනාධිපතිවරණයකට ප‍්‍රමාණවත් විය. ලැබුණු අරමුදල් ඡන්ද දෙකටම පාවිච්චි කළ හැකි ලෙස ප‍්‍රබල එහෙත් අඩු වියදම් කළු සුදු මැතිවරණ ප‍්‍රචාරක වැඩසටහනක් දියත් කළ යුතු බව මගේ අදහස විය. එහෙත් දේවල් සිදුවූ ආකාරය පුදුමාකාරය. රටේ එක ලොකු සල්ලිකාරයෙකුද තෝරාගත් තමන්ගේ පුද්ගලයන් කිහිපදෙනකු ප‍්‍රචාරක වැඩසටහන මෙහෙයවන කණ්ඩායමට ඇතුළත් කර තිබුණි. ජනාධිපතිවරණය සඳහා කිසිවක් ඉතිරි නොවන විදියට සම්පූර්ණ අරමුදලට ඔවුන් වියදම් කළේය. ඒ එහි සැඟවුණු අරමුණක් තිබුණි. පාර්ලිමේන්තු මැතිවරණය ජයගතහොත් ඒ සමග එළැඹෙන ජනාධිපතිවරණයට මුළු වියදම හෝ වැයවන වියදමෙන් විශාලතම පංගුව වියදම් කිරීමේ අයිතිය ඉහත කී ධනවතා අතට ගැනීම එහි සැඟවුණු අරමුණ විය. ඔහු අපේක්ෂා කළ ආකාරයටම හැම දෙයක්ම සිදුවිය. මෙම ධනවතා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ප‍්‍රිය කළ පුද්ගලයෙකු නොවීය. ඔහුද ඇය ප‍්‍රිය නොකළාය. දකුණු පළාත් සභා මැතිවරණයටද ඔහු සොච්චම් පරිත්‍යාගයක් ඇයට කළේය. එය සිදුවන තැන මමද අනුරුද්ධ රත්වත්තද සිටියේය. ඔහු එම ස්ථානයෙන් ගිය පසු එම පුද්ගලයා තමන්ට දෙන ලද මුදල් සහිත කවරය අනුරුද්ධට අල්ලා ගැනීමට හැකිවන ලෙස ඔහු වෙත ඇය විසි කළාය. මට ඔය මිනිහා පෙන්නන්න බැහැ. ඔය මිනිහා දෙන සල්ලි අල්ලන්නවත් මම කැමති නැහැ. ඔය මුදල් ඔයාගෙ වැඩට තියා ගන්නැ යි ඇය අනුරුද්ධට කීවාය. කවරෙ තිබුණු මුදල ලොකු ගණනක් නොවීය. එය රුපියල් 1,25,000ක් විය. පාර්ලිමේන්තු මැතිවරණයටද ඔහු ලබාදෙන ලද්දේ ලොකු මුදලක් නොව පුංචි මුදලකි. එහෙත් ජනාධිපතිවරණයේ වැඩිම මුදල් බර කර ගැසූ පුද්ගලයා බවට පත්වූයේ ඔහුය. ඒ වන විට ඇයද ඔහු කෙරෙහි තිබූ අප‍්‍රියාව නැතිකරගෙන තිබුණි. ඔහු තිරය පිටුපස සිට ඇගේ ආණ්ඩුවේ ගමන් මග හසුරුවන ප‍්‍රධාන පුද්ගලයකු බවට පත්විය. ඔහු ලබාදෙන ලද මුදල් ආධාර වෙනුවෙන් සමහරවිට සිය ගුණයක් තරම් විශාල දේවල් ඔහු ආපසු ලබා ගත්තේය. ඔහු කරන සියලූ නීති විරෝධී ක‍්‍රියාවලදී ඔහු ආරක්ෂා කරන පිළිවෙතක පිහිටා ක‍්‍රියාකරන්නට ඇයට සිදුවිය.

තිරය පිටුපස සිට රට පාලනය කිරීම

ලෙස්ලි ගුණවර්ධන මියයන්නට පෙර ඔහු සමග කරන ලද දීර්ඝ කතාබහකදී අසන්නට ලැබුණු පරිදි තම පක්ෂයට අවශ්‍ය මුදල් ආධාර ලබාදෙන ප‍්‍රතිපත්තියකට යන්නට යුගෝස්ලෝවිනියානු තානාපති කාර්යාලය කැමැත්ත පළකර තිබුණු අවස්ථාවකදී පක්ෂයට එම රටෙන් මුදල් ආධාර ලබාගැනීම ප‍්‍රතික්ෂේප කළ බව ඔහු කීවේය. පක්ෂයත් බාහිර විදේශ ආධාර මත යැපෙන තත්ත්වයකට පත්විය යුතු නැති බවත්, පක්ෂය තමන්ගේ පාක්ෂිකයන්ගෙන් හා පක්ෂ ආධාරකරුවන්ගෙන් ලැබෙන අරමුදල්වලින් යැපෙන තත්ත්වයක සිටිය යුතු බවත් ඔහු කියා සිටියේය. එහෙත් ඔහුගේ මරණයෙන් පසු තවත් පසුකලකදී ඔහුගේ බිරිඳ විවියන් ගුණවර්ධනගෙන් ඊට වෙනස් අපූරු කතාවක් මට අසන්නට ලැබුණි. ඇය රටේ නාමධාරී ධනවත් පුද්ගලයකුගේ නම සඳහන් කරමින් ඔහු හැමදාමත් මැතිවරණවලදී පක්ෂයට මුදලින් ආධාර කළ හොඳ පුද්ගලයකු බව කීවේය. පුවත්පත් ලෝකයට එකතුවීමෙන් පසු දේශපාලනඥයන්ට ලොකුවට ආධාර කරන ධනවතුන් දෙස බලා සිටීමේ අවස්ථාවක් මට ලැබුණි. විවියන් ගුණවර්ධන සඳහන් කළ හොඳ පුද්ගලයාද ඒ ලැයිස්තුවේ සිටියේය. ඔහුද දේශපාලනඥයන් සඳහා ලොකුවට මුදල් ආයෝජනය කොට ලොකුවට ප‍්‍රතිලාභ ලැබූ පුද්ගලයෙකි. එවැනි පුද්ගලයෙක් සමසමාජ පක්ෂයටද ආධාර කළේ ඇයිද යන ප‍්‍රශ්නයට මට දිය හැකි පිළිතුර වන්නේ මේ විෂයේ ආයෝජකයන් මුදලින් ආධාර කරන්නේ ආණ්ඩු බලයක් ඇති කරගැනීමට හැකි පක්ෂවලට පමණක් නොවන බවය. ඔවුන් විවේචනය කිරීමේ ශක්තියක් ඇති පක්ෂවලටද ආධාර කරති. ඒ මගින් ඔවුන් අපේක්ෂා කරන්නේ ඔවුන් සම්බන්ධ ප‍්‍රශ්නවලදී විවේචකයන් නිහඬ තත්ත්වයක තබා ගැනීමය. අද රටේ අංක 1 ගණයේ ධනවතුන් ලෙස සැලකිය හැකි සියලූදෙනාම පාහේ ව්‍යාපාරික කුසලතා නිසා අංක 1 ගණයට පැමිණි අය නොවෙති. දේශපාලනඥයන්ට ලොකු අරමුදල් දී ඒ වෙනුවෙන් ආපසු ලබාගන්නා විශාල ප‍්‍රතිලාභ මගින් ඒ තත්ත්වය දිනාගත් අයවෙති. ඔවුන් කිසිදු පක්ෂයකට අයත් නැත. සියලූ පක්ෂවල හොඳ ආධාරකරුවෝය. මේ අය කලාතුරකින් බිහිසුණු අපරාධවල යෙදෙන අවස්ථාද තිබිය හැකිය. ඔවුහු එවැනි අවස්ථාවලදී බලයේ සිටින ඕනෑම නායකයකු ඔවුන් කොන්දේසි විරහිතව ආරක්ෂා කරන පිළිවෙතක් ක‍්‍රියාත්මක වනු දැකිය හැකිය. ඇත්ත වශයෙන්ම තිරය පිටුපස සිට රට පාලනය කරන්නේ ඔවුන්ය. බලයට පත්වන ඕනෑම ආණ්ඩුවක් ඔවුන් මිලදී ගනිති. කොටස් වෙළෙඳපොළේ ඇතිවූ අර්බුදයෙන් හා එය කෙළවර කැරුණු ආකාරයෙන් පෙන්නුම් කැරෙන්නේද ඔවුන්ට තිබෙන බලයේ පරිමාවයි. ඔවුන් අතින් සිදුවන ඇඟිලි ගැසීම් රටේ මැතිවරණ ක‍්‍රමය පමණක් නොව දේශපාලන ක‍්‍රමයද අවුල් ජාලාවක් බවට පත්කිරීමට හේතුවී තිබේ.




Line
Sri Lanka