ravaya
83, පිළියන්දල පාර, මහරගම. දුරකථන: 2851672 / 2851673 කර්තෘ මණ්ඩලය: 2842064 බෙදාහැරීමේ අංශය: 2896330 ෆැක්ස්: 2851814 ඊමේල්: ravaya@gmail.com

තිබෙන ඡන්ද සහ නැති ප‍්‍රජාතන්ත‍්‍රවාදය

2010 වසරේ ජනාධිපතිවරණය පැවැත්වුණු අතර, 2011දී පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්විණි. 2013 වසරට නියමිතව තිබුණු උතුරුමැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභා මැතිවරණ වසරකින් ඉදිරියට ගෙනැවිත් මේ වසරේ පැවැත්වෙයි. ඉදිරි අවුරුදු දෙකද මැතිවරණ වසර බව ජනමාධ්‍ය ඇමැතිවරයා ප‍්‍රකාශ කර තිබේ. මේ අනුව බැලූ බැල්මට ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පොරොන්දු දේශයකි. එහි වසරක් පාසා මැතිවරණ පැවැත්වෙයි. පාලකයෝ සිය පාලනයට ඇති මහජන කැමැත්ත උරගා බැලීමට නොබියව මහජනයා ඉදිරියට යති. මහජනයාට සිය මතය පළකිරීමට අවස්ථාව ලැබෙයි. ජනසම්මතයෙන් ජනතා නියෝජිතයෝ පත්වෙති.

එහෙත්, මේ මවාපෑම යටින් ඇති කනගාටුදායක යථාර්ථය නම්, රටේ නැත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බවය.

රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ඇත්තේ නම් පළමුව තැබිය යුත්තේ උතුරුමැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සභා මැතිවරණ නොවේ. උතුරු පළාත් සභා මැතිවරණ...



දේශපාලන ක‍්‍රමයේ ගමනක අවසානයද?

වික්ටර් අයිවන් [Sunday, July 22, 2012]

දේශපාලන ක‍්‍රමය ගරාහැලෙමින් තිබෙන වේගය දෙස බලන විට දේශපාලන ක‍්‍රමයේ පිපිරීමක් ඉක්මනින්ම ඇතිවිය හැකි දෙයක් බව පෙනෙන්නට තිබේ. ගරාහැලීමේ වේගය ඉතාමත්ම අසාමාන්‍ය තත්ත්වයකට පත්ව තිබෙන බවක් පෙනෙන්නට තිබේ. සංවිධානාත්මක විරුද්ධ පක්ෂ ව්‍යාපාරයක් නැතිව වුවත් දේශපාලන ක‍්‍රමයේ අභ්‍යන්තර කාර්මික දෝෂ නිසා පමණක් වුවද පිපිරීමක් ඇතිවිය හැකිය.

ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදී ව්‍යාපාරය පරාජය කිරීමත් සමග දේශපාලන ක‍්‍රමයද ඓතිහාසික වශයෙන් යල් පැනගිය තත්ත්වයකට පත්ව තිබුණේයැ යි කිව හැකිය. ඒ තත්ත්වය න්‍යායික වශයෙන් තේරුම් ගෙන ප‍්‍රතිසංවිධානයක් ඔස්සේ රාජ්‍ය ප‍්‍රතිනිර්මාණය කරගන්නා තැනකට යෑමට ආණ්ඩුව අසමත් විය. ඒ නිසා දැන් දේශපාලන ක‍්‍රමය තිබෙන්නේ ගරාහැලීමේ ක‍්‍රියාවලිය පරිපූර්ණ වී පූර්ණ බිඳ වැටීමක් ඇතිවිය හැකි තත්ත්වයකය. අවසාන යුද්ධය කැරෙන අවස්ථාව වනවිටත් ශ‍්‍රී ලංකා රාජ්‍ය අසමත් රාජ්‍යයක් බවට වර්ග කැරුණු තත්ත්වයක තිබුණි. රාජ්‍ය අත පමණක් තිබිය යුතු අවි දැරීමේ බලය තවත් ප‍්‍රතිපක්ෂයක් අත තිබීම ඒ අසමත්භාවය කෙරෙහි බලපෑ වැදගත්ම හේතුවී තිබුණි. එහෙත් අසමත්භාවය කෙරෙහි බලපා තිබුණු එකම හේතුව එය පමණක් නොවීය. නීතියේ පාලනය බිඳ වැටීමද ඒ කෙරෙහි බලපා තිබුණු තවත් වැදගත් හේතුවක් විය. රාජ්‍ය අත පමණක් තිබිය යුතු අවි දැරීමේ බලය පිළිබඳ ප‍්‍රශ්නයේදී ප‍්‍රභාකරන්ගේ තත්ත්වාකාර රාජ්‍ය පරාජය කිරීම මගින් තත්ත්වය ජයගැනීමට ශ‍්‍රී ලංකා රාජ්‍ය සමත් වුවත් ගරා හැලීම කෙරෙහි බලපා තිබුණු අනෙකුත් හේතු ජයගැනීමට හේතුවන ප‍්‍රතිසංස්කරණවලට යාමට අසමත්වීම නිසා ගරාහැලීමේ ක‍්‍රියාවලිය වෙන කිසිදාක නොවූ තරමින් වේගවත් වී පිපිරී විනාශවන තත්ත්වයකටම ගමන් කරමින් තිබෙන්නේයැ යි කිව හැකිය. මෙම තත්ත්වය අරාජික තත්ත්වයකට මිස ඒකාධිපති තත්ත්වයකට අවකාශ සලසන්නේ නැත. හේතුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයකට පමණක් නොව ඒකාධිපති පාලන ක‍්‍රමයකටද දේශපාලන යාන්ත‍්‍රණයක් තිබීම අත්‍යවශ්‍ය වන නිසාය. ගරාහැලීමේ වේගය තුළ යාන්ත‍්‍රණය විනාශවෙමින් තිබෙන්නේ කවර ක‍්‍රමයකට හෝ එය ප‍්‍රයෝජනයට ගත නොහැකි ආකාරයකටය. පුපුරන්නට යන්නේ කවර ආකාරයකටද යන්න කල්තබා කීමේ හැකියාවක් නැතත්, එය එක හේතුවක් නිසා හෝ හේතු ගණනාවක් එකට එකතුවීම නිසා එය කොයි මොහොතක හෝ සිදුවිය හැකිය. හොඳට හෝ නරකට අලූත් රාජ්‍යයක් නිර්මාණය කරගන්නා තැනකට යොමුවන්නට සිදුවනු ඇත්තේ ඒ ඇතිවන විනාශයෙන් පසුවය.

වරෙන්තුකරුවන් හා අපරාධකරුවන්

ගරා හැලීම සිදුවෙමින් තිබෙන අසාමාන්‍ය වේගය පෙන්නුම් කරන දර්ශකයක් මෙසේය.

ජුලම්පිටියේ අමරේ නිසා වරෙන්තුකරුවන් පිළිබඳව අවධානය යොමු කරන තැනකට යන්නට පොලීසියට සිදුවිය. අධිකරණයේ විනිසුරුවරයා ප‍්‍රකාශ කර තිබුණු පරිදි ජුලම්පිටිය අමරේට තිබුණු වරෙන්තු සංඛ්‍යාව සියයකට වැඩිය. එහෙත් වරෙන්තුකරුවා ප‍්‍රසිද්ධ රැස්වීම්වල කතා කළේය. ජනමාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයට ඔහු සාමාන්‍ය ගමන් බිමන්වලදී පවා ටී. 56 ගිනි අවියක් පරිහරණය කළේය.

ඒ සමග පොලිස් ක‍්‍රියාකාරිත්වයේ බිඳවැටීමක් ඇතිවී නැති බව පෙන්නුම් කිරීම සඳහා වරෙන්තුකරුවන් අත්අඩංගුවටගන්නා මහා මෙහෙයුමක් රට පුරා ක‍්‍රියාත්මක විය. දින කිහිපයක් තුළ අත්්අඩංගුවට ගන්නා ලද වරෙන්තුකරුවන් සංඛ්‍යාව 10648කි. ඉන් 2427ක්ම බස්නාහිර පළාතෙනි. නිදැල්ලේ සිටින වරෙන්තුකරුවන් සංඛ්‍යාව 600,000කටත් වැඩි බව පොලිස් ප‍්‍රකාශකයකු උපුටා දක්වමින් ජූලි 15 වැනිදා ලක්බිම පුවත්පත වාර්තා කළේය. දිනමිණ පුවත්පත පළ කළ වාර්තාවකට අනුව වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීමට කරන ලද මෙහෙයුමෙන් අත්අඩංගුවට ගැනීමට අපේක්ෂා කළ වරෙන්තු කරුවන්ගේ සංඛ්‍යාව 60,000කි. එවිට එම මහා මෙහෙයුමෙන් අත්අඩංගුවට ගන්නට බලාපොරොත්තු වූ සංඛ්‍යාව මුළු වරෙන්තුකරුවන්ගේ සංඛ්‍යාවෙන් 10%කි.

මීට පෙර අවස්ථාවකදීද උපුටා දක්වන ලද තවත් වැදගත් කරුණක් මෙසේය. 2011 ජූලි 28 වැනිදා ලංකාදීප පුවත්පත පොලිස් අපරාධ කොට්ඨාසයේ ප‍්‍රකාශකයකු උපුටා දක්වමින් මිනීමැරුම්, කොල්ලකෑම්, ගෙවල් බිඳීම් වැනි අපරාධ වැරදිවලට එක් වරක් හෝ වැරදිකරුවන් වූ අවුරුදු 70වට නොවැඩි ජීවතුන් අතර සිටින ලේඛනගත අපරාධකරුවන්ගේ සංඛ්‍යාව ලක්ෂ 5කටත් වැඩි බව වාර්තා කර තිබුණි.

මෙම සංඛ්‍යා දෙකම ජනගහනයේ තරම සමග නොගැළපෙන තරම් විශාලය. වරෙන්තුකරුවන් 600,000ක් යනු වැඩිහිටි ජනගහනයෙන් 10.98%කි. වැඩිහිටි හැම පුද්ගලයන් 100කටම වරෙන්තුකරුවන් 11ක් හෝ ඊට ආසන්න සංඛ්‍යාවක් සිටින බව ඉන් අදහස් වේ. මිනීමැරුම්, මංකොල්ලකෑම් වැරදිවලට වරදකරුවන් වී සිටින අයගේ සංඛ්‍යාව 500,000ක් වන විට එය වැඩිහිටි ජනගහනයේ අනුපාතිකයක් වශයෙන් 9.15%කි. හැම වැඩිහිටි පුද්ගලයන් 100කටම පුද්ගලයන් 10ක් හෝ ඊට ආසන්න ගණනක් අපරාධකරුවන් බව ඉන් අදහස් වේ.

අපරාධ වර්ධනය කෙරෙහි අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමේ ක‍්‍රියාවලියේ ඇතිවී තිබෙන බිඳ වැටීමද වැදගත් සාධකයක් ලෙස බලපා තිබේ. ජුලියම්පිටිය අමරේට වරෙන්තු 100කට වැඩි ගණනක් තිබුණා යන්නෙහි තේරුම වනුයේ ඔහුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මකවීමකින් තොරව එක අපරාධයකින් පසු තවත් අපරාධයක් යනාදී වශයෙන් දිගට අපරාධවල නිරතවීමේ හැකියාව ඔහුට ලැබී තිබුණු බවය. අපරාධකරුවන් වහාම අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට නොපැනවූ විට ඔවුන්ට තව තව අපරාධවල නිරතවීමේ හැකියාව ලැබෙන්නේය. එය මහා පරිමාණයෙන් සිදුවන දෙයක් වන විට අපරාධ වර්ධනයේ ශීඝ‍්‍ර වර්ධනයක් ඇතිවීමද නොවැළැක්විය හැකිය. පොලීසිය අපරාධකරුවන් අතර කල්ලි ගැසී ක‍්‍රියාකරන තත්ත්වයක් තිබීම හා නැවත දේශපාලකයන් හා අපරාධකරුවන් අතරද කල්ලි ගැසී ක‍්‍රියාකරන තත්ත්වයක් තිබීම මේ තත්ත්වය උග‍්‍ර කිරීමට බලපා තිබෙන වැදගත් අතිරේක සාධක දෙකක් ලෙස සැලකිය හැකිය. අපරාධ වැරදි සනාථ කිරීම සඳහා අවශ්‍ය සාක්ෂි නැතිකමද ඒ තත්ත්වය කෙරෙහි බලපා තිබෙන තවත් සාධකයකි. සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා ක‍්‍රියාත්මක වන නීති පද්ධතියක් රටේ නොපවතී. අපරාධකරුවකුට එරෙහිව සාක්ෂි දෙන පුද්ගලයාද අපරාධකරුවාගේ රුදුරු බිල්ලන් බවට පත්විය හැකිය. යුක්තිය පසිඳලන ආයතන ක‍්‍රමයේ ඇතිවී තිබෙන ගරාහැලීමද මෙම විෂම තත්ත්වය වර්ධනය කිරීමට බලපා තිබෙන තවත් හේතුවක් ලෙස සැලකිය හැකිය.

අපරාධ නඩුවලදී වැරදිකරුවන්නේ 4%ක් පමණය. ඉන්දියාවේ එය 70%ක මට්ටමක පවතින අතර දියුණු රටවල එහි අනුපාතිකය 85%ක මට්ටමක පවතී. දේශපාලකයන් සේ ම අපරාධකරුවන් සමග කල්ලි ගැසී ක‍්‍රියාකරන නඩුකාරයන් ගැනද විටින් විට අසන්නට ලැබෙන්නේය. විශ‍්‍රාම ගිය අග‍්‍රවිනිශ්චයකාරවරයකු ඔහු ධුරයේ සිටියදී නමගිය අපරාධකරුවකු ඇසුරු කළේය. පේරාදෙණියේ මල්වත්තේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සඳහා එම අපරාධකරුවා අධිකරණයට අවශ්‍ය වූ විට ඔහු පිළියන්දල ප‍්‍රදේශයේ නිවසක දිගු කලක් සැඟවී සිටියේය. පිළියන්දල පොලීසිය ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු කීවේ අගවිනිසුරුගේ උපදෙස් මත සැඟවූ බවය. මෙම පුද්ගලයා බොහෝ විනිසුරුවරුන් ඇසුරු කළ අතර විනිසුරුවරුන් ඔහු ගැන දැන සිටියේ අගවිනිසුරුගේ ලේකම්වරයකු ලෙසය. ගෝලයා කුලී මිනීමරුවකු බව හෙළිදරව්වීමෙන් පසුවද අගවිනිසුරුවරයා ඔහු සමග තිබුණු සම්බන්ධතා අත්නොහැරියේය. මෙම අපරාධකරුවා නඩු කියන්නන්ට මගපෙන්වන උපදේශක ආයතනයක් පවත්වාගෙන ගිය අතර ඒ සඳහා පවත්වාගෙන ගිය වෙබ් අඩවියේ මේ පුද්ගලයා හඳුන්වා තිබුණේ නීති විෂය පිළිබඳ මනා දැක්මක් ඇති ආචාර්ය උපාධිධාරියකු ලෙසය. ඔහු ඒ මගින් කළේ තමන්ට තිබුණු සම්බන්ධතා උපයෝගී කරගනිමින් ලොකු ගාස්තුවක් අය කොට තිරය පිටුපසින් කැරෙන ගනුදෙනු මගින් සහන ලබාදීමය. මෙම සේවාව පවත්වාගෙන යන අතරතුරේ ඔහු පේරාදෙණිය මල්වත්ත ඝාතනය සඳහා යොදාගත් කුලී වෙඩික්කාරයාම (ඒ.කේ. අශෝක) යොදාගෙන යුද්ධය පැවති කාලයේදී රටේ ප‍්‍රධාන පෙළේ සීනි ආනයනකරුවකු සුදු වෑන් රියකින් පැහැර ගෙන ගොස් ඔහු ඝාතනය කළේය. ඊට පෙරද ඔහුගේ සහෝදරයකු විසින් ලංකා බැංකුවේ ලීසිං සමාගමෙන් ලබාගත් සුඛෝපභෝගී වාහනයක් සඳහා ගෙවිය යුතු වාරික ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් මත සමාගම එම වාහනය නැවත අත්පත් කරගැනීමෙන් පසු එම සමාගමේ කළමනාකරු සදාකාලික අබ්බගාත තත්ත්වයකට පත්වන තෙක් පහර දුන්නේය. මෙම පුද්ගලයා අධිකරණ ප‍්‍රධානියා සමග පවත්වාගෙන ගිය නොමනා සම්බන්ධය පාතාලය රටේ දේශපාලනය කෙරෙහි පමණක් නොව අධිකරණය කෙරෙහිද බලපාන තත්ත්වයක් හිමි කරගෙන තිබුණු ආකාරය සංකේතාත්මකව පෙන්නුම් කරයි.

සමාජ පාදඩකරණය

පසුගිය දශක තුනක් තරම් කාලය තුළ රටේ ලූම්පන් සමාජ තීරුවේ විශාල ප‍්‍රසාරණයක් ඇතිවී තිබේයැ යි කිව හැකිය. කුලී මිනීමරුවන්, මංකොල්ලකාරයන්, කප්පම්කාරයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පිම්පියන්, දූෂණය, වංචාව හා රැවටීම ජීවන මාර්ගය කොටගත් පුද්ගලයන් හා එවැනි ව්‍යාපාරවල අතරමැදියන් හා තැරැව්කාරයන් වශයෙන් ක‍්‍රියාකරන්නන්ගේ සංඛ්‍යාවේ වේගවත් ප‍්‍රසාරණයක් මේ කාලය තුළ ඇතිවිය. ඒ සමග කළු සල්ලිවලට ලැබෙන වැදගත්කම ඉහළයමින් කළු සල්ලි ආර්ථිකයේ වැදගත් හා ප‍්‍රධාන අංශයක් බවට පත්විය. ඒ මගින් ධනපති පන්තිය තුළ වෙනත් අංශවල ව්‍යාපාරිකයන් හිමි කරගෙන සිටි ප‍්‍රමුඛ තත්ත්වය ඔවුන්ට අහිමි වී කළු සල්ලිකාරයන් රටේ ධනපති පන්තිය තුළ සිටින වඩා ධනවත් හා බලවත්ම පිරිස බවට පත්වූහ. ආර්ථිකයේ අංශයට හිමි පංගුව 30%ක් පමණ විය හැකි බව මගේ තක්සේරුව වී තිබුණි. එහෙත් බැංකු ක්ෂේත‍්‍රයේ මාගේ මිත‍්‍රයකු මහ බැංකුවේ උසස් නිලධාරියකුගෙන් ඒ ගැන කරන විමසීමකදී ඔහු කියා ඇත්තේ එයට හිමි පංගුව මා හිතන තරමටත් වඩා වැඩිවිය හැකි බවය.

මෙම සමාජ තීරුවේ වර්ධනය කෙරෙහි බලපෑ ප‍්‍රධාන සාධකය විවෘත ආර්ථිකය යන්න බොහෝ දෙනකුගේ මතය වී ඇතත් එය නිවැරදි නැත. එහි වර්ධනය කෙරෙහි වඩාත්ම බලපෑවේ 1977න් පසු ජේ.ආර්. ජයවර්ධන විසින් ඇති කරන ලද විශේෂ දේශපාලන ක‍්‍රමය හා රටේ එක දිගට පැවති ප‍්‍රචණ්ඩ වාතාවරණයයි. මෙම දේශපාලන ක‍්‍රමය සකස් කර තිබෙන්නේද එය ගැඩ ගැසී තිබෙන්නේද දේශපාලන ක‍්‍රමයේ පැවැත්ම සඳහා මැර බලයද නැතුවම බැරි කොන්දේසියක් වන ආකාරයටය. ත‍්‍රස්තවාදී ව්‍යාපාර කරළියට එන තෙක් ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව ශිෂ්‍ය ව්‍යාපාර හා වෘත්තීය සමිති ව්‍යාපාර මැඬපැවැත්වීම සඳහා වෘත්තීය මැරවරයන් යොදාගන්නා ලදි. 83 කළු ජූලිය පාදඩ බලවේගයන්ට වසන්ත සමයක් විය. එම කාලසීමාවේදී දැවැන්ත දේපළ මංකොල්ලයක් රටේ සිදුවිය. අනුන්ගේ දේපළ බලහත්කාරයෙන් අත්පත් කරගැනීම මගින් සමහර කොල්ලකරුවන් ධනවතුන් බවට පත්වූහ. ඉන්පසු ජේවීපී කැරැල්ල කරළියට ඒමෙන් පසු දේශපාලකයන්ට එල්ල වූ ජීවිත තර්ජන ඉදිරියේ ඔවුන්ට නිල හමුදාවල ආරක්ෂාව ලබාදීමට නොහැකිවීම නිසා දේශපාලකයන්ට සිය ආරක්ෂාව සඳහා ඔවුන්ගේම අතුරු හමුදා හදාගැනීමට ඉඩදෙන ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ආණ්ඩුවට සිදුවිය. මන්ත‍්‍රීවරුන්ගේ අතුරු හමුදාවලට යුද හමුදාව ලවා ගිනි අවි පුහුණුවක් ලබාදෙන ලද අතර ඔවුන්ට අවශ්‍ය ගිනි අවි ආණ්ඩුව විසින් ලබාදෙන ලදි. රටේ දේශපාලකයන්, අපරාධකරුවන් මත සහ නැවත රටේ අපරාධකරුවන් රටේ දේශපාලකයන් මතද යැපෙන තත්ත්වයක් එම විශේෂ වටාපිටාව විසින් ඇති කළේය. රටේ පැවති ප‍්‍රචණ්ඩ වාතාවරණය ආයුධ සංසරණයේ සේ ම පරිහරණයේද ඇතිවිශාල වර්ධනයක් ඇති කළේය. මංකොල්ලකාරයන්ට කප්පම්කාරයන්ට වඩා හොඳින් සිය කටයුතු කරගෙන යා හැකි වාසිදායක වටාපිටාවක් ගොඩනගිමින් තිබුණේය.

දේශපාලකයන් හා අපරාධකරුවන් කල්ලි ගැසීම

දේශපාලනඥයන් සිය ආරක්ෂාව සඳහා ගොඩ නගන ලද අතුරු හමුදාවලට එකතු වූ වැඩි පිරිසක් ප‍්‍රාදේශීය මට්ටමේ අපරාධකරුවෝ වූහ. ඒ සමග ඔවුන් දේශපාලකයන්ට රැකවරණය දෙන අතර මංකොල්ල කෑවේය. කප්පම් ගත්තේය. දේශපාලකයන්ගේ ආරක්ෂක වාහනවල මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය කළේය. ඒ මගින් ලූම්පන් සමාජය රාජ්‍යයේ රැකවරණය ඇතිව සිය නීති විරෝධී ආර්ථික ක‍්‍රියාකාරකම්වල යෙදෙන පිරිසක් බවට පත්වූහ. මේ සමාජ තීරුව පොලීසිය සමග සමීප සම්බන්ධයක් ඇති කරගන්නේද මෙම කාලවකවානුවේදීය. දේශපාලකයා සමග කරන ගනුදෙනුවලදී දේශපාලනඥයාට සමීප අපරාධකරුවන් සමගද වැඩ කරන්නට පොලිස් නිලධාරීන්ට සිදුවූයේය. උසස් පොලිස් නිලධාරීන්ට දේශපාලනඥයන්ට සමීප අපරාධකරුවන්ටද සැලූට් ගසන තත්ත්වයක් ඇතිවන්නේ ඒ සමගය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් පොලීසියට දේශපාලකයන් සමග සිටින නමගිය අපරාධකරුවන් කරන අපරාධ ඉදිරියේ ඇස් වසාගෙන සිටින ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමට හෝ ඔවුන්ට අනුබල දෙස ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමට සිදුවිය. රටේ නමගිය අපරාධකරුවන්, පොලීසිය සමග කල්ලි ගැසී ක‍්‍රියාකරන තත්ත්වයක් ඒ නිසා ඇතිවිය.

ජේවීපී කැරැල්ල පරාජය කිරීමෙන් පසුත් දේශපාලනඥයන් වෙත එල්ල වන එල්ටීටීඊ තර්ජන නිසා රටේ නමගිය අපරාධකරුවන් ඇතුළත් වන ලෙස පවත්වාගෙන ගිය අතුරු හමුදා තවදුරටත් පවත්වාගෙන යන්නට සිදුවූ අතර ඒ මගින් අපරාධකරුවන් හා දේශපාලකයන් අතරද නැවත අපරාධකරුවන් හා පොලීසිය අතරද එකට කල්ලි ගැසී ක‍්‍රියාකිරීම සමාජ දේශපාලන ජීවිතයේ සාමාන්‍ය ලක්ෂණයක් බවට පත්විය. ඒ මගින් එම අපරාධකරුවන්ට තමන්ගේ නීති විරෝධී ක‍්‍රියාකාරකම් දේශපාලන අධිකාරියේ හා පොලීසියේ රැකවරණය යටතේ පවත්වාගෙන යන තත්ත්වයක් ඇතිවිය. ඔවුන් මෙම කාලය තුළ ධන බලය වර්ධනය කරගනිමින් වියදම් අධික ජේත්තුකාර ජීවිත පවත්වාගෙන යා හැකි සමාජ කණ්ඩායමක් බටව පත්විය. එම වටාපිටාව රටේ මත්ද්‍රව්‍ය වෙළෙඳාම වැනි නීති විරෝධී ජාවාරම් ශක්තිමත් කළේය. කප්පම් සංස්කෘතිය වර්ධනය කළේය. රටේ සිදුවන අපරාධවල ප‍්‍රමාණයේ වේගවත් වර්ධනයක් ඇති කළේය. දැන් පාලනය කළ නොහැකි රැල්ලක් බවට පත්ව ඇත්තේ එම ප‍්‍රවාහයයි.

කොල්ලකෑම් හා කප්පන්

පෞද්ගලික බස් සංගමයේ සභාපති ගැමුණු විජේසිංහ ප‍්‍රකාශ කර තිබෙන තොරතුරු අනුව පුද්ගලික බස්රථවලට නිල කප්පම්කරුවන්ට මසකට ගෙවන්නට සිදුවී තිබෙන කප්පමේ ප‍්‍රමාණය රුපියල් ලක්ෂ 800කි. පුද්ගලික බස්රථවලින් කප්පම් ගන්නා කප්පම්කරුවන් බොහෝවිට ප‍්‍රාදේශීය දේශපාලන බලවතාගේ තෝරාගත් ආධාරකරුවන්ය. ආණ්ඩු වෙනස් වන විට මෙම කප්පම්කරුවන්ද වෙනස් වන්නේය. රටේ සිදුවන දේපළ වෙළෙඳාම්වලදී මිලදී ගන්නන්ගෙන් විශාල ලෙස කප්පම් ලබාගන්නා සංවිධානාත්මක ව්‍යාපාරයක්ද රටේ පවතී. විදේශ රටවල පදිංචියට යන ධනවත් හා මධ්‍යම පාන්තික මිනිසුන්ගේ ගෙවල් දොරවල් හා ඉඩකඩම් බලහත්කාරයෙන් අත්පත් කරගන්නා සංවිධානාත්මක ව්‍යාපාරයක්ද රටේ පවතී. දැන් මාස කිහිපයකට පෙර ආරක්ෂක ලේකම්ගේ උපදෙස් පරිදි පළ කරන ලද දැන්වීමක් මගින් බලහත්කාරයෙන් දේපළ අත්පත් කරගැනීම් පිළිබඳ පැමිණිලි ඇතොත් ඒ සඳහා පිහිටුවා ඇති විශේෂ විමර්ශන අංශයට පැමිණිලි කරන ලෙස ඉල්ලා සිටියේය. ලැබුණු පැමිණිලි සංඛ්‍යාව කොතෙක්ද යන්න මා හරිහැටි නොදන්නාමුත් කෙටි කාලයක් තුළ පැමිණිලි දහස් ගණනක් ලැබුණු බව මට දැනගන්නට ලැබුණි. මා දන්නා හඳුනන නීතිඥයකුගෙන් අසන්නට ලැබුණු කතාවක් මෙසේය.

කොළඹ විජේරාම අවට ජීවත් වූ ධනවත් දෙමළ ජාතිකයකු ඔහු ජීවත් වූ නිවස හා එම නිවස තිබූ විශාල ඉඩම මහරගම පිළිකා රෝහලට ලියා මිය ගියේය. ඉඩමේ හා නිවසේ තාවකාලික භාරකාරත්වය පවරා තිබුණේ ඉහත කී නීතිඥයාටය. ඉතා බලවත් කණ්ඩායමක් මෙම නිවස හා ඉඩම බලහත්කාරයෙන් ඔවුන් සතු කරගත්තේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ ගැන පැමිණිලි කළද බලවත් රාජ්‍ය නිලධාරියකුගේ ඇඟිලි ගැසීම් නිසා සිදුකැරෙන පරීක්ෂණය බලවත් ලෙස ඉදිරියට යන තත්ත්වයක් නොතිබුණි. ඔහු මට කතා කළේ ඒ අතරය. ආරක්ෂක අමාත්‍යාංශය ඉහත කී දැන්වීම පළකර තිබුණේද ඒ කාලයේදීමය. ඒ දැන්වීම අනුව අලූත් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස මම ඔහුගෙන් ඉල්ලා සිටියෙමි. ඔහු ඒ අනුව ක‍්‍රියා කළේය. ඔහු පසු අවස්ථාවක මට කීවේ දැන් ඒ සඳහා කැරෙන පරීක්ෂණය සෑහීමට පත්වන ආකාරයකින් ඉදිරියට යමින් තිබෙන බවය.

ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බලයේ සිටින කාලයේ මා වෙත පැමිණි කාන්තාවක් තමන් ජීවත්වන්නේ කොළඹ බවත් තමන්ට විශාල ඉඩමක් ජාඇල ප‍්‍රදේශයේ තිබුණු බවත් දේශපාලන පසුබිමක් ඇති පුද්ගලයකු ඒ ඉඩම හොර ඔප්පුවකින් ඔහුගේ නමට ලියාගෙන ඉඩම කැබලි කරවා විකුණා ඇති බවත් ඔහුට එරෙහිව අධිකරණය ඉදිරියේ නඩු පවරනු ලැබුවත් නඩුව කලකට පසුව අතුරුදන් වූ බවත් කියා සිිටියේය. මා ඈ ළඟ තිබුණු සම්පූර්ණ ලිපිගොනුවේ පිටපතක් ඉල්ලා ගත්තෙමි. සම්පූර්ණ ලිපිගොනුව සමග මම ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළෙමි. පරීක්ෂණය භාර නිලධාරියා ටික කලකට පසුව මා අමතා තමන් පරීක්ෂණය අවසන් කළ බවත් එය තවදුරටත් ඉදිරියට ගෙන නොයන ලෙස ඉහළින් නියෝග කර ඇති බවත් අදාළ වංචාව සිදුවී තිබෙනවා පමණක් නොව නඩුව විභාග කළ විනිශ්චයකාරවරයාද එම වංචාකාරයට උදව් කර තිබෙන බවත් කීවේය.

නාගරික ප‍්‍රදේශයක අක්කර හතඅටක ඉඩමක් වංචාවෙන් අල්ලාගෙන එය කැබලි කොට විකුණන පුද්ගලයකුට ටික දින ගණනකින් කෝටි ප‍්‍රකෝටිපතියකු බවට පත්විය හැකිය. රටේ එවැනි වංචා සිදුවී තිබෙන්නේ සුළු ගණනක් නොව දහස් ගණනකි. භයානකම දේ එවැනි වංචාකාරයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වන තත්ත්වයක් රටේ නොතිබීමය.

වෙනදා මත්පැන් බලපත‍්‍ර විකුණන ලද්දේ වෙන්දේසි දමන ක‍්‍රමයකටය. වෙනත් වටිනා බලපත‍්‍ර සඳහා අනුගමනය කැරුණු ප‍්‍රතිපත්තියද එය විය. එහෙත් ඒ ක‍්‍රමය 1977 ඇති කරන ලද දූෂිත දේශපාලන ක‍්‍රමය යටතේ වෙනස් කරනු ලැබීය. ඉන්පසු මත්පැන් බලපත‍්‍ර දෙන ලද්දේ මන්ත‍්‍රීවරුන් හරහාය. මගී ප‍්‍රවාහන හා දැව ප‍්‍රවාහන බලපත‍්‍ර දෙන ලද්දේද මන්ත‍්‍රීවරුන් හරහාය. මන්ත‍්‍රීවරුන් තැබෑරුම්කරුවන් බවට පත්වන විට ඒ ව්‍යාපාර පවත්වාගෙන යන අය බවට පත්වූයේද මන්ත‍්‍රීවරයාගේ මැර කණ්ඩායමට අයත් සහචරයන්ය. ආණ්ඩුවේ ව්‍යාපාර පුද්ගලික අංශයට විකුණන වැඩපිළිවෙළින්ද සමහර දේශපාලකයන් කෝටි ප‍්‍රකෝටිපතීන් බවට පත්වූහ. සමහරවිට ඒ ව්‍යාපාරවල හිමිකරුවන් බවට පත්වූයේද ලූම්පන් පන්නයේ ධනවතුන්ය.

මෙසේ ලූම්පන් සමාජ තීරුව ඉතා ධනවත් හා බලවත් තත්ත්වයකට පත්ව මේ වනවිට ඔවුන් දේශපාලන තලය පමණක් නොව අන් හැම වැදගත් අංශයක්ම අනියම් ලෙස පාලනය කරන තත්ත්වයක් හිමි කරගෙන ඇතැ යි කිව හැකිය. ගුණධර්ම විෂයයෙහි ඇතිවී තිබෙන මහා පරිහානිය සේ ම දැන් රටට ඔරොත්තු නොදෙන තරම් වේගයකින් ඉහළයමින් තිබෙන අපරාධ රැල්ලද, නීතියේ ආධිපත්‍යය කඩා බිඳ වැටීමද එහි ප‍්‍රතිඵලයන් ලෙස සැලකිය හැකිය. ජනවර්ග අතර තිබෙන භේද පමණක් නොව ජනවර්ග තුළ තිබෙන භේදද උග‍්‍රවෙමින් පවතී. ඒ තත්ත්වය ආගම් කෙරෙහිද බලපා තිබේ. දේශපාලන නායකයන් හා දේශපාලන පක්ෂ කෙරෙහි පැවති මහජන විශ්වාසය වාෂ්ප වීයමින් පවතී. එකුදු ආයතනයක්වත් ඉතුරු නොවන තරමට ආයතන ක‍්‍රමය කෙරෙහි වන මහජන විශ්වාසයද බිඳවැටෙමින් පවතී. දැන් රට තිබෙන්නේ කොයි මොහොතක හෝ පිපිරිය හැකි පැසවමින් තිබෙන ගිනි කන්දක තත්ත්වයකය. රටට ඉදිරි දැක්මක් තිබුණේ නම් කළයුතුව තිබුණේ ගරාහැලෙමින් පැවති දූෂිත දේශපාලන ක‍්‍රමය සේ ම සමාජ ක‍්‍රමයද ප‍්‍රතිසංවිධානයට ලක්කිරීමය. දැන් විය හැක්කේ පිපිරීමක් ඇති වුවහොත් රට අරාජික තත්ත්වයකට පත්වීමය. එසේ වුවහොත් රටට ඒ වෙනුවෙන් විශාල වන්දියක් ගෙවන්නට සිදුවිය හැකිය.




Line
Sri Lanka